ඡත්ත මානවක ගාථා

මෙහි නිධාන කතාවට පාදක වෙන්නේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩ වාසය කරන කාලයේ ජීවත් වුන ඡත්ත කියන තරුණ මානවකයා ගැනයි.මේ කතාව කෙටියෙන්ම කියනව නම් මේ තරුණයා උක්කට්ඨා කියන නුවර පොක්ඛරසාති කියන ගුරුවරයාගෙන් සියළුම ශිල්ප හදාරලා ගුරුවරයාගෙන් සමු අරගෙන ගුරු පඩුරු ගෙනත් දීමේ පොරොන්දුව ඇතිව තම දෙමාපියන් වාසය කළ සේතව්‍යා නුවරට පැමිණලා දෙමාපියන්ට සියළු විස්තර කියලා නැවත පසුවදා නැගිටලා කහවනු දහසකුත් අරගෙන නැවත ගුරුන් දකින්න යනවා.එදා උදෑසන මහා කරුණා සමාපත්තියට සම වදින බුදුන් වහන්සේ දිවැසින් දකිනවා මොහු සොර මුලක් අතින් කැලෑවක් තුල ඝාතනය වන බවත් එය වැලැක්විය නොහැකි බවත්.බුදුන් වහන්සේ මොහුට පිහිට වීම පිණිස මොහු එන ගමන් මාර්ගයේ ගසක් මුල වැඩ සිට ඔහුට තුනුරුවන්ගේ ගුණ සහිත ගාථා තුනක් උගන්වනවා.එය හොඳින් මතක තියාගත් මෙම තරුණ මානවකයා ඉදිරියේදී මහා කැලෑවක් තුළ සොරමුලක් අතින් ඝාතනය උනත් දිව්‍ය සැප සම්පත්ති ඇති තැනක උප්පත්තිය ලැබීමට වාසනාව හිමි කරගන්නවා.බුදුරජාණන් වහන්සේ ඡත්ත මානවකයාට උගන්වන ලද ගාථා තුන තමයි පහතින් දක්වන්නේ.

යො වදතං පවරො මනුජෙසු - සක්‍යමුනී භගවා කත කිච්චො
පරගතො බල විරිය සමංගි    - තං සුගතං සරණත්ථ මුපෙමි

ඒ ශාක්‍ය මුනි වූ භාග්‍යවතුන් වහන්සේ ලෝ සතුන් අතුරින් ධර්මවාදී හට අග්‍ර වූ සේක.උන්වහන්සේ නිවන් සඳහා කල යුතු සියල්ලම නිම කරවා වදාළ සේක.සසර සයුරෙහි පරතෙරටම පැමිණි සේක.කාය බලයෙන්, ඥාන බලයෙන් හා වීර්යයෙන් යුක්ත වූ සේක.මම ඒ සුගතයන් වහන්සේ සරණ යමි.

රාග විරාග මනෙජ මසෝකං - ධම්ම මසංඛත මප්පටිකූලං
මධුරමිමං පගුණං සුවිභත්තං  - ධම්ම මිමං සරණත්ථ මුපෙමි

ශ්‍රී සද්ධර්මයෙන් රාගය දුරු වෙනවා.තෘෂ්ණාව නැති, ශෝක නැති, පිළිකුල් රහිත වූ අසංඛත නිවනයි ඒ ධර්මය.මේ ධර්මය මධුරයි.හොඳින් ප්‍රගුණ වෙනවා.විස්තර විභාග සහිතයි.මේ ධර්මය සරණ යන්න.

යත්ථ ච දින්නමහප්ඵල මාහූ  - චතුසු සුචිසු පුරිස යුගෙසු
අට්ඨ ච පුග්ගල ධම්ම දසාතෙ - සංඝමිමං සරණත්ත මුපෙමි

මේ ආර්ය සඟ පිරිසට දානය පූජා කිරීමෙන් මහත් ඵල ලැබෙනවා.මේ සාසනයේ එබදු පිරිසිදු පුරුෂ පුද්ගලයෝ යුගල සතරක් ඉන්නවා.උන්වහන්සේලා පුද්ගලයන් වශයෙන් අට දෙනෙකි.ඒ සංඝ රත්නය මම සරණ යමි.


මෙම ගාථා තුන වර්තමානයේ සෑම සිංහල බෞද්ධ පාසලකම ,පාසල අවසන් වන විට කියනවා.මේක වර්තමාන භාවිතයට පැමිණලා තියෙන්නේ බෞද්ධ පාසල් ආර්ම්භ කල කාලයේ පටන්මයි.මේ පළමු පාසලට (ආනන්ද විද්‍යාලයට ) ඇතුළත් වෙලා තියෙනවා කුරුප්පුමුල්ලගේ ජිනරාජදාස කියලා ළමයෙක්.බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවො,හික්කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුවො,මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවො,ලෙඩ්බීටර් තුමා,ඕල්කට් තුමා වගේ අය කිහිප දෙනෙක් විශ්වාස කරලා තියෙනවා ජිනරාජදාස කියන්නේ ඡත්ත මානවකයාගෙම පුනරුප්පත්තියක් වගේම මේ ගාථාව කියවලා ගෙවල් වලට යන දරුවන්ට මඟ තොට ආරක්ෂාවක් ලබා දෙන්න පුළුවන් කියලත්.මේ නිසා පාසල අවසන් වෙන කොට ජිනරාජදාස ශිෂ්‍යයාගේ ප්‍රධානත්වයෙන් ඡත්ත මානවක ගාථා කියලා ගෙවල් වලට ළමයි පිටත් කිරීම සිදු කරලා තියෙනවා.මේක පසු කාලයේ ඇති කරපු බෞද්ධ පාසල් වගේම දහම් පාසල් වලත් අනුගමනය කරලා තියෙනවා.


හසිත අබේසිංහ

Popular posts from this blog

පැරණි ලෝකයේ ගංඟා නිම්න ශිෂ්ඨාචාර

මනස නිර්වින්දනය කිරීම

කැමති අකමැති කවුරුත් මාමයිට් ගැන නොදත් කතාව

පෙරුම්කායම්