පෙරුම්කායම්

දෙවියන්ගේ ආහාරය ලෙසින් ලොව ප්‍රසිද්ධ පෙරුම්කායම් වල විද්‍යාත්මක නාමය වෙන්නේ Ferula assa fcetida ,මෙයට කන්නඩි භාෂාවෙන් ඉන්ගු කියලත්, ඉංග්‍රීසියෙන් ඇසෆිටීඩා Asafoetida වගේම දමිළ භාෂාවෙන් පෙරුම්කායම් කියලත් ව්‍යවහාර වෙනවා.

විවිධ ඖෂධ ක්‍රම වලදී මෙය ඖෂධයක් ලෙස භාවිතයට ගැනෙනවා වගේම ආහාර පිසීමේදී කුළු බඩුවක් වශයෙනුත් ගැනෙනවා.වෛරස් රෝග වලදී අපේ ශරීරයේ ප්‍රතිශක්තිය ඇතිකරන්නත් මහෝපකාරී වෙනවා.මෙය වෛරස් සමග ගැටුන විට එහි වර්ධනය අඩපණ කරන බවට සොයා ගෙන තියෙනවා.

මෙය කැටයක් වශයෙන් තියෙන කොට සැර සුවඳකුත් ,ආහාර වලට දැමූ පසු ප්‍රණීත සුවඳක් සහ රසයකුත් පවතිනවා.

පෙරුම්කායම් පැලෑටිය බහුල වශයෙන් වැවෙන්නේ ඉරානය, ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය වගේම ඉන්දියාවේ කාශ්මීර ප්‍රාන්තයේයි.පෙරුම්කායම් හදන්නේ පෙරුම්කායම් ගස් වල මුදුන් මුල,කඳ සහ පත්‍ර කැපුවාම වෑහෙන සුදු පැහැති දියරය වේලලයි.මේ පැලෑටිය අඩි 3 ත් 5 ත් දක්වා උසට වැඩෙනවා.

පෙරුම්කායම් ස්නායු රෝග වලට, සෙමට, ඇඳුමට, හුස්ම ගැනීමේ අපහසුතා වලට, උගුරේ අමාරු වලට,වාත දෝෂ වලට, කෑම දිරවීමට, බඩේ වේදනා වලට, කොලෙස්ටරෝල් වගේම මානසික රෝග සඳහාත් ගුණදායක වෙනවා.හැබැයි මෙහි ඇති රුධිරය කැටි ගැසීම අඩු කරන ගතිය නිසා ගැබිනි මව්වරුන්ටත්, කුඩා ළමයින්ටත් සුදුසු වෙන්නෙ නම් නෑ.මේ ගුණය නිසා සමහර රට වල ගබ්සා කාරකයක් විදිහටත් පෙරුම්කායම් පාවිච්චි කරනවා.ඒ වගේම තමයි සමහර අයට මුල් වරට පෙරුම්කායම් පාවිච්චි කරන කොට බඩ බුරුල් කර යාම ආදියත් සිද්ධ වෙන්න පුළුවන්.මේ වගේ අයටත් විකල්පයක් තියෙනවා.පෙරුම්කායම් අයිති වෙන්නේ සැල්දිරි පවුලට.මේ පවුල විද්‍යාත්මකව හදුන්වන්නේ Umbellifers කියලයි.මේක ලතින් වචනයක්.ඒකෙ තේරුම තමයි "කුඩා සෙවනක්" කියන එකයි.ඒකට මේ නම ලැබෙන්න හේතු වෙලා තියෙන්නේ මේ පවුලට අයත් ශාක වල මල් හට ගන්නේ කුඩයක හැඩයට බොහෝ දුරට සමාන වීම නිසයි.මේ පවුලට අයිති වෙනත් ශාක තමයි සැල්දිරි, පාස්ලි, අසමෝදගම්, කොත්තමල්ලි, මහදුරු, සූදුරු, දුරු වර්ග වගේම කැරට්.පෙරුම්කායම් අගුණ ඇති කරන අයට ප්‍රතිශක්තිය වැඩිකර ගන්න ඉහත සඳහන් කරපු දේවල් ආහාරයට එක්කර ගැනීමේ අවස්ථාවත් තියෙනවා.

පෙරුම්කායම් හුළං නොවදින හිරු එළිය නොවැටෙන තැනක ගබඩා කරලා තිබ්බොත් අවුරුද්දකට වැඩි කාලයක් සුරක්ෂිතව තබා ගැනීමේ හැකියාවත් තියෙනවා.හොඳින් මතක තියා ගන්න, පෙරුම්කායම් ආහාර වලට එක්කරන්නේ ඉතාමත් සුළු වශයෙන් කියන එක.

හසිත අබේසිංහ


Popular posts from this blog

පැරණි ලෝකයේ ගංඟා නිම්න ශිෂ්ඨාචාර

ඡත්ත මානවක ගාථා

මනස නිර්වින්දනය කිරීම

කැමති අකමැති කවුරුත් මාමයිට් ගැන නොදත් කතාව