මනස නිර්වින්දනය කිරීම

මනස නිර්වින්දනය ගැන කතා කරන කොට අප්‍රිකාවේ සැවානා වල වැඩි වශයෙන් ජීවත් වන උෂ්ණත්ව කාල වලදී බහුලව දකින්න පුළුවන් Emerald Wasp කියන දෙඹර විශේෂය ගැන මතක් උනා.මේ සත්වයාගේ ජීවන ගමනේ ආරම්භය නැත්නම් බිත්තර දැමීම සිදු කරන්නේ කැරපොත්තෙකුගෙ ඇග ඇතුළේ.මේකට තෝරාගන්නේ හොඳ පෘෂ්ඨිමත් වගේම නීරෝගීමත් කැරපොත්තෙක්ව.(හැබැයි සමහර අවස්ථා වල මකුළුවන්,දළඹුවන් සහ කූඹින්ව මේ කාර්යය සඳහා යොදා ගත්ත අවස්ථා වාර්තා වෙලා තියෙනවා)මේ කාර්යයේදී කැරපොත්තන්ව විශේෂයෙන් ගන්නේ සමහර විට කැරපොත්තන්ට ඕනෑම දෙයක් ආහාරයට ගැනීමේ හැකියාව තියෙන නිසා වගේම ආහාර නැතුව උනත් ගොඩක් කල් ජීවත් වීමේ හැකියාවත් තියෙන නිසා වෙන්න පුළුවන්.මේ විදිහට තෝර ගත්ත කැරපොත්තාගේ ඵලදායීතාවය එහෙම නැත්නම් තම කාර්යයට ඇති ප්‍රයෝජනවත් සෞඛ්‍ය සම්පන්න කැරපොත්තෙක්ද කියලා දෙඹරා විසින් බලා ගන්නේ මේ කැරපොත්තාගේ රුධිරය රස බැලීමෙන් තමයි.හොඳට වැඩුණු කැරපොත්තෙක් දැක්ක ගමන් මේ දෙඹර ගැහැණු සතා විදුලි වේගයෙන් කැරපොත්තා වෙත කඩා පැන දෂ්ට කරනවා.පළමු දෂ්ටයෙන් කැරපොත්තාගේ ඉදිරි පස කකුල් අක්‍රිය කරනවා.දෙවැනි දෂ්ටය ඇය කෙළින්ම කැරපොත්තාගේ මොළයට එල්ල කරනවා.මෙම විෂ සහිත විශේෂ රසායනික සංයෝගයෙන් කැරපොත්තාව අංශභාග තත්වයට හෝ මරණයට පත් කරන්නේ නැහැ.මේ විෂ හුදෙක්ම කැරපොත්තාගේ බිය දැනීම හා ඒ නිසා එයින් පලායාම කියන ඌගේ මොළයේ කොටස අක්‍රිය කිරීම පමණයි සිදු කරණු ලබන්නේ.මේ ක්‍රියාවලියෙන් පස්සේ කැරපොත්තාව සම්පූර්ණයෙන්ම පාලනය කරණු ලබන්නේ දෙඹරා විසින්.මුලින්ම කැරපොත්තාගේ ඇන්ටනාව කඩා වෙන් කර දමනවා.විෂ ශරීර ගත වීමෙන් ටික වේලාවකට පසු කැරපොත්තා යථා තත්වයට පත් වෙනවා.ප්‍රමාණය ඉක්මවා විෂ ශරීර ගත වුවහොත් මේ ආකාරයට යලි යථා තත්වයට පත් නොවෙන අතර ටික වේලාවකින් කැරපොත්තා මිය යන්න උනත් පුළුවන්.මෙසේ යලි යථා තත්වයට පත් වුන කැරපොත්තාව බලහත්කාරයෙන් ඇදගෙන තම ගුහාව තුළට රැගෙන ගොස් කැරපොත්තාගේ පසු පස කකුල් ළග ඇග ඇතුළේ නියමිත තැන සොයා ගෙන ඒ මත තනි බිත්තරයක් තැන්පත් කිරීම සිදු කිරීම කරනු ලබනවා. ඉන් පසු ඇය තම ඉත්තාව බාහිර පරිසරයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ගුහාව කුඩා වියළි අතු කැබලි සහ පාෂාණ කොටස් වලින් වසා දමනවා.මේ සඳහා පැය භාගයක් හෝ ඊට වැඩි කාලයක් ගත වෙනවා.පසුව බිත්තරය පිපිරී එන කීටයා කැරපොත්තාගේ ඇගේ මාංශමය කොටස් ආහාරයට ගනිමින් වර්ධනය වෙනවා.නමුත් මෙම කීටයා කැරපොත්තාගේ මධ්‍ය ස්නායු පද්ධතියට හානියක් සිදු නොකිරීමට වග බලා ගන්නවා.මේ නිසා මේ දෙඹරා වැඩිවියට පැමිණ එළියට එනකන් කැරපොත්තා මැරෙන්නෙ නෑ.මාසයකට විතර පස්සේ අළුත් Emerald Wasp දෙඹරෙකු ගුහාව වැසූ තැනින් පොළවෙන් උඩට මතු වෙනවා.

මේ සම්පූර්ණ කතාව කියෙව්වාම ඔයාලට තේරෙනවා ඇතිනේ මේ දෙඹරා විසින් කැරපොත්තාගේ මොළය නිර්වින්දනය කරලා තමන්ගේ අවශ්‍යතා සියල්ල තෘප්ත කර ගත්ත හැටි.මේ වගේම බලවත් රාජ්‍ය ,දුප්පත් රාජ්‍ය වල ජනතාවගේ වගේම,බහු ජාතික සමාගම් රටක ජනතාවගේ මොළ නිර්වින්දනය කරලා තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්නෙත් මේ විදිහටම තමයි.

සුදු අධිරාජ්‍යයගේ කාලයේ උදේට හොඳ කොළ කැඳ එකක් බිව්ව සිංහලයාව ඔවුන් විසින් "කැඳ බීලද ඉන්නේ" වශයෙන් අවඥ්ඥාවට ලක් කරමින් පෝෂදායී කොළ කැඳ එක වෙනුවට කිසිදු ගුණයක් නැති පිටි කිරි බීමට මොළය හැඩ ගස්වන්නට යෙදුණා.බත් වෙනුවට පාන් කන තැනට පත් කළා.මත්ද්‍රව්‍ය ක්‍රමක්ක්‍රමයෙන් නීති ගත කරලා විවිධ මත්ද්‍රව්‍ය වලට අපේ ජනතාව පොළඹවන්නට යෙදුණා.ලංකාවේ තිබුණ දියුණු කෘෂිකාර්මික ආර්ථිකය කඩා දැමුවේද ජනසමාජයේ ගොවියාට තිබුණ තැන හෑල්ලුවට ලක් කරමින් වගේම ඊට ලබා දෙන ආධාර ආදිය කප්පාදු කිරීම මගිනුයි.ගොවිකමේ සමාජ තත්වය නින්දිත විදිහට පහත හෙළා මාසෙ පඩියට වැඩ කිරීම උසස් කොට සලකන සමාජයක් බටහිරට ඕනෑවට ඇති කිරීම තුළින් ගම්වල ගොවියන්ගෙ දරුවො ගොවිතැනින් ඈත් කළා.ඒ වගේම විශාල පවුල ගර්හාවට ලක් කරමින් "පුංචි පවුළ රත්තරං" ආදී සංකල්ප සිංහළ මනසට පෙවීම තුළින් සිංහළ ජනගහණය අඩු කරන්නට යෙදුණා.අඩු පිරිසකට කළ හැකි බලපෑම අවමයි කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.වර්තමානය වෙන කොට සිංහලයින් ශක්ති සම්පත්තියෙන් අඩු,විචාරශීලීත්වයෙන් තොර බලවත් බටහිර ජාතීන්ගේ උවමනා එපාකම් අනුව වැඩකරන ජාතියක් වෙලා අහවරයි නේද? ඒ වගේම තවත් එකක් තමයි යටත් විජිත සමයේ කළු ජාතිකයින්ව යොදාගෙන වහල් වෙළදාම කලෙත් සුදු මිනිසුන් ,කළු මිනිසුන්ට වඩා උසස් යන සිතිවිල්ල ජන මනසට එන්නත් කිරීම මගින්ම තමයි.වහල් වෙළඳාම අද නැති වුණත් මේ ගැටළුව අද දක්වාම කළු මිනිසුන්ට විදින්න සිද්ධ වෙලා තියෙනවා.කුලය,ජාතිය අනුව වර්ග කරමින් මිනිසුන්ව පාගා දමන්නේත් මේ වගේම තමයි.

දැන්වත් අපි,අපි වෙන්න උත්සහ කරමු අනෙකකුගේ රෑකඩයක් නොවී.නැත්නම් අනාගතයේ දවසක අපිට උරුම වෙන්නෙත් කැරපොත්තට වෙච්ච දේම තමයි.


හසිත අබේසිංහ

Popular posts from this blog

පැරණි ලෝකයේ ගංඟා නිම්න ශිෂ්ඨාචාර

ඡත්ත මානවක ගාථා

කැමති අකමැති කවුරුත් මාමයිට් ගැන නොදත් කතාව

පෙරුම්කායම්