ඉවසීමෙන් ඉලක්ක වෙත

වර්තමානයේ දකින්න තියෙන සමාජ ප්‍රශ්ණයක් වන්නේ නූතන පරපුර තුළ ඉවසීමෙන් තම ඉලක්ක වෙත යාමේ නොහැකියාවයි.හැමදෙයක් සදහාම ක්ෂණික විසදුම් සොයයි.එහි ප්‍රතිඵල නොතිබුනහොත් මහත් ව්‍යසනයන් සිදු කරයි, නැතහොත් සිදු කර ගනී.මෙයට හොදම නිදසුනක් වෙන්නේ මෑත කාලයේදී තම පෙන්වතා/පෙම්වතිය අතහැරීම නිසා එක්කෝ තමා වරදකරුවෙකු යැයි සිතන පුද්ගලයෙකු හෝ කිහිපදෙනෙක් ඝාතනය කිරීම හෝ නැතහොත් තමාගේම සියදිවි හානි කරගැනීම වැනි දේ දක්වන්න පුළුවන්.මෙවැනි බාල නියාටු ක්‍රියාවලට තරුණ පරපුර යොමු වන්නේ නිවැරදි ගුරු හරු කමක් හෝ මග පෙන්වීමක් නොමැති නිසාදෝයි මට සිතේ.මේ හේතුව නිසාම අද මම "ඉවසීමෙන් ඉලක්ක වෙත" කියන මේ මාතෘකාව තෝරාගත්තා.

ඔයාලා දන්නවද චීන උණ ගස ගැන.චීන උණ ගසක් වැඩෙන්න වසර පහක කාලයක් ගත වෙනවා.ඒත් ඒක ඒ විදිහට වැඩෙන්න නම් දවස ගානේ ජලය සහ පොහොර වගේ පෝෂක කොටස් අවශ්‍ය වෙනවා.වසර පහක් යනකන් චීන උණ ගස පොළොවෙන් උඩට මතු වෙන්නෙ නැහැ.නමුත් වසර පහක් අවසානයේ පොළොවෙන් මතු වුනාට පස්සේ සති පහක් ඇතුළත අඩි 90 උසට මේ ගස උස යනවා.මේ විදිහට අඩි 90 ක් උස යන්න අවශ්‍ය පෝෂණය වගේම ශක්තිය මේ ගස ලබා ගත්තේ වසර පහක් තුළ එකතු කරගත්ත ජලය වගේම පෝෂණ කොටස් හේතුවෙන්.ඔයත් ඔයාගේ හීන එහෙමත් නැත්නම් ඉලක්ක වෙත යනකොට දවසින්,දෙකෙන්,මාසයෙන්,අවුරුද්දෙන් එහෙමත් නැත්නම් වසර කිහිපයක් ගෙවිලා ගියත් පේන්න තරම් ලොකු ප්‍රතිඵලයක් නොතිබෙන්නට පුළුවන්.මේ වෙලාවට වටේ ඉන්න අයත් ඔයාගෙන් අහයි ඔය කරන වැඩ වල තේරුමක් තියෙනවද කියලා.සමහර වෙලාවට ඔයාට පණ දෙන්න හිටපු අය ඔයාව අතහැරලා යයි,යන්නත් ඇති.ඒ වෙලාවට එයාලා ගැන වෛර හිතක් ඇති කරගන්න එපා.බලන්න ළිදක ඉන්න හිස්ගෙඩියෙක් ගෙම්බෙක් වෙලා ළිදෙන් එහා ලෝකයට නිදහසේ පැන පැන යන්න ඕනෙ කරන අංගෝපාංග පැමිණෙන්නට කලින් හිස්ගෙඩියගෙ වරල් හැලෙනවා.ඔයාගෙ වටේ ඉන්න අය හැලෙන්නෙත් ඔයාට නිදහසේ හොඳ අනාගතයක් කරා යන්න කියලා හිතන්න.මුහුදෙ ඉන්නෙ එක මාළුවෙක් නෙමෙයි කියන එකත් හිතේ තියා ගන්න.බැලූ බැල්මට ප්‍රගතියක් නැති නිසා ඔයාට ඔයා කරන දේවල් අතර මග නතර කරන්න හිතෙන්නත් ඇති.සමහර විට අතර මග නතර කරලත් ඇති.කිසි විටෙක ක්ෂණික ප්‍රතිඵල නෑ කියලා ඉලක්ක , හීන අතරමග නතර කරන්න එපා.ඉවසීමෙන් කටයුතු කරන්න.ඉවසලා ඉවසලා බැරිම තැන තමයි හොඳටම ඉවසන්න ඕනේ.

ඉලක්ක හමුවේ පරාජය නොවී උත්සාහවන්තව අවසානය දක්වා ධෛර්යවන්තව කටයුතු කරන්න.අන්න ඒ වගේ පුද්ගලයෙක් ගැන ලංකා ඉතිහාසයෙන්ම ගෙනහැර දක්වන්නම්කෝ.ඒ තමයි දක්ෂ මලල ක්‍රීඩකයෙකු වන කරුණානන්ද ගැන කතාව.මේ කියන්න යන්නේ 1964 ජපානයේ ටෝකියෝ වල පැවැත්වූ 18 වන ගිම්හාන ඔලිම්පික් උළෙලේ මීටර් 10 000 ධාවන ඉසව්ව ගැනයි.මේ සඳහා ලංකාවෙන් ඉදිරිපත් කරනු ලැබූවේ රණතුංග කරුණානන්දයි.මොහු එකළ ලංකාවේ සිටි දක්ෂතම ක්‍රීඩකයායි.මොහු අංක 67 න් තරග වැදුනා.වට 25 කින් යුක්ත වූ තරගයේ ප්‍රථමයා තරගය නිමා කරද්දි තවත් වට හතරක් ඒ කියන්නේ මීටර් 1600 පසු පසින් තරගයේ අන්තිමයා විදිහට ලංකාවේ කරුණානන්ද නොනැවතී දුවමින් සිටියා.මේ තරගයේ පළමු තැන ඇමරිකාවටත්,දෙවන තැන ටියුනීසියාවටත්, තෙවන තැන ජපානයටත් හිමිවුණා.පළමු තිදෙනා තරගය අවසන් කල පසුව ලංකාවේ කරුණානන්ද හැර අනෙකුත් ක්‍රීඩකයන් තරගය අතර මැදදී නතර කර දැමුවා.ජයග්‍රාහකයන් තේරී පත්ව තිබෙද්දීත් නොනැවතී තරග වදින කරුණානන්දටමුලදී ප්‍රේක්ෂකාගාරයෙන් උසුළු විසුළු සහ අපහාසාත්මක හඩවල් නැගුණත් මොහු අවසාන වට දෙකට පිවිසෙද්දී එය අත්පොලසන් නාදයක් බවට පරිවර්තනය වුණා.කරුණානන්ද මේ තරගයේ අවසාන පුද්ගලයා වුනත් මුළු ලෝකයේම අවදානය ඔහු වෙත යොමු වුණා.තරගය අවසානයේ මොහු කියා සිටියේ තමා තරගයට පැමිණියේ තරගය ආරම්භ කිරීමට පමණක් නොව අවසාන කිරීමටත් එක්ක කියලයි.පසුව මොහුගේ අධිෂ්ඨානශීලී බව අගය කරමින් ජපානයේ 5 ශ්‍රේණියේ පාසල් පෙළ පොතේ පළමු පාඩම ලෙස "ධෛර්යවන්ත මිනිසා" යන මාතෘකාව යටතේ පාඩමක්ද වෙන් කෙරුනා.ඔයත් ඔයාගේ හීන,ඉලක්ක පසු පස නොනැනවතී ගියහොත් තරගයේ අවසාන පුද්ගලයා වුවත් ඔබ ජයග්‍රාහකයෙක් වේවි.

ඒ වගේම මේ ගමන යනකොට අපිට විවිධ බාධක, දුෂ්කරතා වගේම පරාජයන් ඕනෙ තරම් ලැබෙයි.ඒවාට බය වෙන්න එපා.අසමත්වීම් වලට අභියෝගයක් වීමට ඔයාට පුළුවන්නම් ඔයාගෙ ජයග්‍රහණයත් අතළග වේවි.මම දැන් කියන්න යන්නෙ අසමත් වීම් ඉදිරියෙ නොසැලී කටයුතු කළ චීනයේ ධනවත්ම පුද්ගලයා පිළිබඳවයි.ඔහු නමින් ජැක්මා.මොහු ඉපදුනේ චීනයේ ගිණිකොනට වන්නට වූ ගමක.මෙයාගෙ දෙමාපියෝ සංගීතවේදීන් විදිහටයි ජීවිකාව කරගෙන ගියේ.නමුත් මෙයාලට මධ්‍යම පාන්තික ආදායමක්වත් උපයාගැනීමට හැකිවුනේ නෑ.ජැක්මා කුඩා කාලයේදීම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නවා.1972 පස්සෙ චීනයේ සංචාරක කර්මාන්තයේ දියුණුවත් සමගම සංචාරකයෝ මොහු ජීවත් වූ ප්‍රදේශයටත් පැමිණියා.මේ කාලයේදී ජැක්මා පාසල් යමින් සිටියත් මොහු කුඩා බයිසිකලයක් රැගෙන ආසන්නතම නගරයට ගොස් සංචාරකයන්ට මග පෙන්වා මුදල් ඉපැයීමට පටන් ගත්තා.මොහුගේ නම මුලට එන ජැක් කියන කොටස පවා ලබාදී තියෙන්නෙ විදේශීය තරුණියක විසිනුයි.මොකද කියනවා නම් ඇයට චීන නම් උච්චාරණය කිරීමට අපහසු වීම හේතුවෙන්.මොහුගේ අසාර්ථකවීම් ප්‍රමාණය ගැන ඇහුවොත් ඔයත් පුදුම වේවි. 

ජැක්මා ප්‍රාථමික පාසලේ අවසන් වාර විභාගය දෙවරක් අසමත් වෙනවා. 

ද්විතීක පාසලේ අවසන් විභාගය දෙවරක් අසමත් වෙනවා. 

ඉංග්‍රීසි උපාධිය හදාරන්න තෝරාගත්ත විශ්ව විද්‍යාලයේ තේරීම් විභාගයෙන් දෙවරක් අසමත් වෙනවා.පසුව ඔහු ඉංග්‍රීසි භාෂාව පිළිබඳ උපාධිය සාර්ථකව නිම කරන අතරම එම විශ්ව විද්‍යාලයේම ගුරුවරයෙකු ලෙස මසකට $12 වැටුපකට සේවය කරනවා. 

මේ කාලයේ හාවඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙනීම සඳහා ඉල්ලුම් කරන අතර මොහුගේ අයදුම් පත දස වතාවක් ප්‍රතික්ෂේප වෙනවා. 

විශ්ව විද්‍යාලයේ ඉන්න කාලයේ විවිධ රැකියා සඳහා ඉල්ලුම් කරලා සම්මුඛ පරීක්ෂණ සදහා පෙනී ඉන්න්වා.මොහු එක දිගට සම්මුඛ පරීක්ෂණ 30 කින් අසමත් වෙනවා. 

KFC චීනයට පැමීණීමත් සමග ජැක්මා එහි සේවයට කැමැත්තෙන් ඉල්ලුම් කළත් අයදුම් කරුවන් 24 දෙනෙකුගෙන් ප්‍රතික්ෂේප වූයේ ජැක්මා විතරයි. 

වරක් පොලීසියට බදවා ගැනීමේ අවසාන පරීක්ෂණය දක්වා තේරුනත් එම අවසන් පරීක්ෂණයෙන් අසමත් වුණෙත් ඔහු පමණයි. 

ජැක්මාට 1995 දී හදිසියේ ඇමරිකාවට යන්න අවස්ථාවක් උදාවෙනවා.මෙහිදී ඔහුට පළමු වරට පරිඝනකයක් පරිශීලනය කරන්නට ලැබෙනවා.මේ ගමනින් පසුව ජැක්මාගේ ජීවිතය බොහෝ සෙයින් වෙනස් වෙනවා.එක පිට එක ලගා වුන පරාජයන් හමුවේ බොහෝ දෙනෙක් ඔහුට කීවේ " උඹටනම් ඉතින් ගොඩ ඒමක් නෑ" කියලා.නමුත් වසර ගණනාවකට පසු ජැක්මා චීනයේ ධනවත්ම පුද්ගලයා බවට පත් වෙනවා.ලොව විශාලතම විද්‍යුත් වාණිජ්‍ය වෙළෙඳපොළ වන අලි බබා විද්‍යුත් වාණිජ්‍ය වෙළෙඳපොළේ වගේම "අලි පේ" හි හිමිකරු වෙන්නෙත් ඔහුමයි.බලන්න මොහුගේ අධිෂ්ඨානශීලී බව.කොච්චර පරාජයන් හමුවේ වුනත් ජැක්මා තමාගේ සිහිනය අතහරින්නේ නෑ.දිළිදුම අඩියෙන් පටන්ගෙන දුෂ්කරතා හා කඩාවැටීම් මැද තම රටේ ඉහළම ධනවතා බවට පත්වුන ඔහුගේ කතාව අප කාටත් ආදර්ශයක් නෙමෙයිද්? අපිත් බාධක ,හැරයාම්, බිදවැටීම් හමුවේ ඉවසිලිමත්ව නොසැලී අපිත් අපි දකින හීනය වෙත යන්න පුරුදු වෙමු. 

ගොඩක් දෙනෙක් දන්නව ඇතිනේ බල්බය හොයාගත්ත තෝමස් අල්වා එඩිසන් ගැන.මෙයා බල්බය හොයාගත්තේ දහස් වරක් උත්සහ කිරීමෙනුයි.ඒ කියන්නේ 999 වරක් අසමත් වෙලා තිබුණා.නිකන් හිතලා බලන්න මේ පුද්ගලයගෙ ඉවසීමයි ,නොපසු බට උත්සහයයි නිසානේ අපි අද ඕනෙම අදුරු වෙලාවක අලෝකවත්ව ඉන්නෙ.

අපි තුළ සැගවිච්ච අපරිමිත හැකියාවක් අපි හැම කෙනා ළඟම තියෙනවා.අපේ ඒ හැකියාවට වැට කඩොළු දාගෙන සීමා මායිම් දාගෙන ඉන්නෙත් අපි විසින්ම තමයි.මං මේක තවත් තේරුම් ගන්න පහසු කරන්න මෙහෙම කියන්නම්කෝ.නුග ගහක් වගේ විශාල වෙන ගසක් පෝච්චියක හිටොව්වොතින් ඒ ගහ උස යන්නේ එහෙමත් නැත්නම් වර්ධනය වෙන්නේ ඒ පෝච්චියේ ප්‍රමාණයට විතරයි.බලන්න ඒ වගේ දැවැන්ත ගහක ප්‍රමාණය තීරණය වුණේ පොච්චියේ ඉඩකඩ මත නේද? ඔය ගහම නිදහස් පොළොවේ හිටෙව්වොත් මහ රූස්ස ගසක් වෙනව නේද? අපිත් පුංචි වෙලා ඉන්නේ අපි විසින්ම හදාගත්ත මානසික සීමාවන් නිසාවෙනුයි.මේ ගැන කියනකොට තව හොද කතාවක් මතක් වුනා.ඒ තමයි බ්‍රිතාන්‍යයට ආපු මහා ඇලෙක්සැන්ඩර් තමාන් එක්ක ආපු හමුදාවන් පැමිණි සියළුම නෞකා ඔවුන් ඉදිරි පිටදිම ගිනි තියලා විනාශ කරලා දැම්මලු.ඒ වගේ දෙයක් ඔහු විසින් කලේ ජයග්‍රහණයෙන් තොර විකල්පයක් නැහැ කියලා තමන්ගෙ පිරිසට අවබෝධ කරලා දෙන්නයි කියලා තමයි ඉතිහාසයේ සදහන් වෙන්නේ.

ගොඩක් වෙලාවට අපිට ඉලක්ක වෙත යන්න වුවමනා කරන සම්පත් අත ළගම තියෙන්නේ නැහැ.කතාවකුත් තියෙනවනේ දුන්න දුනුගමුවේ,ඊතල කිතලගමුවේ,රාල මීගමුවේ,මුවෙක් ඇඩුවයි සබරගමුවේ.මේ කතාවට අනුව දුන්න තියෙන්නෙ දුනුගමුවෙ,දුන්නට ඕනෙ කරන ඊතල තියෙන්නෙ කිතලගමුවෙ,දුන්න භාවිතාකරන රාල ඉන්නෙ මීගමුවෙ,රාලගෙ ඉලක්කය වෙන මුවා ඉන්නෙ සබරගමුවෙ.ප්‍රායෝගික ජීවිතයෙදි අපිටත් ඕනෙ කරන සම්පත් මේ වගේ දස අතේ පැතිර තියන්නේ.එවා නිසි ආකාරයට කලමනාකරණය කරගෙන අපේ ඉලක්කයට යන ගමනට යොදාගන්න අපි දක්ෂ වෙන්න ඕනෙ.




හසිත අබේසිංහ


Popular posts from this blog

පැරණි ලෝකයේ ගංඟා නිම්න ශිෂ්ඨාචාර

මනස නිර්වින්දනය කිරීම

ඡත්ත මානවක ගාථා

කැමති අකමැති කවුරුත් මාමයිට් ගැන නොදත් කතාව

පෙරුම්කායම්