දූපත් මානසිකත්වයෙන් මිදී නිවැරදිව හිතන්න පුරුදු වෙමු


දූපත් මානසිකත්වයෙන් මිදිලා හරි විදිහට හිතන්නෙ කොහොමද කියලා කතා කරන්නයි අද අපි සූදානම් වෙන්නේ.

අපි ජීවත් වෙන මේ සමාජයේ මිනිස්සු ප්‍රධාන කොටස් තුනක් යටතේ වර්ග කරලා හදුනාගන්න පුළුවන්.ඒ වර්ග තුන තමයි බුද්ධිමතුන්, කපටීන් සහ මෝඩයන්.

බුද්ධිමතුන් හැමදේ ගැනම විමසිලිමත්, නිතරම හරි දේ කරන්න උත්සහ කරන , ඒ වගේම වැරදි දේ නිවැරදි කරන්න උත්සහ කරන අයයි.

කපටීන් යම්තාක් දුරට යථාර්ථවාදීව සහ තර්කානුකූලව සිතනවා වුනාට තමන්ගේ වාසියට අනුන්ව රවටලා , මිත්‍යාව වගේම වැරදි දේ පතුරනවා.

මෝඩ පුද්ගලයින්ට තාර්කිකව හිතන්න අමාරුයි.විචාරශීලී බවිනුත් තොරයි.ප්‍රශ්ණ කිරීම් කොහෙත්ම කරන්නේ නෑ.අනිත් අයගේ මතය විචාරශීලීව විමසන්නෙ නැතුවම පිළිගන්නවා.

අපි මේ සමාජයේ ජීවත් වෙන කොට බුද්ධිමත් විදිහට ජීවත් වෙන්න උත්සහ කරන්න ඕනේ.හරි අපි දැන් බලමුකො හරි විදිහට , බුද්ධිමත් විදිහට හිතන්නේ කොහොමද කියලා.


  • තර්කයට නොව පුද්ගලයාට පහර ගැසීම

යම් කෙනෙක්ගේ තර්කයට පහරදීම වෙනුවට ඒ පුද්ගලයාට පහර ගැසීමට අපි කියනවා වැරදි එහෙමත් නැත්නම් බංකොලොත් තර්ක කියලා.සාකච්ඡාවකදි පාර්ශව දෙකෙන් එක් පාර්ශවයක් අනෙක් පාර්ශවයට නොසෑහෙන්ට බැන්නා කියලා හිතමුකො.ඒකෙන් ඔප්පු වෙන්නෙ නෑ ඒ පාර්ශවය හරි අනෙක් පාර්ශවය වැරදියි කියලා.

අපිට නිතර අහන්න ලැබෙන තර්කයක් තමයි එකිනෙකාගේ වතගොත නැත්නම් පැටිකිරිය කියමින් ඒ මගින් පුද්ගලයන්ව මනින්නට යෑම.මේ වගේ අය මුලින්ම පටන්ගන්නේ අපි නොදන්න පුද්ගලයනෙ එයා කියමින්.එයා ඉස්සර හිටියෙ මෙහෙම,එයා කලේ මේවා,අම්මට තාත්තට සැලකුවෙ මෙහෙමයි,මෙයාගේ පරම්පරාවේ අය මෙහෙමයි කියලා කියනවා ඔයාලත් අහලා ඇති.මේ විදිහට යම් යම් පුද්ගලයන්ගේ පරම්පරාවට,අදින පලදින විදිහට,ආගමට,කුලයට,දරුවො ඉන්නවද නැද්ද යන්න මත,රැවුල වැවෙනවද නැද්ද කියන එක මත,ආගමික හෝ නිරාගමික වීම මත,හතර පෝයට සිල්ගැනීම හෝ නොගැනීම මත,උස මිටි බව අනුව ආදී විදිහට කියූ නොකියූ සෑම දෙයම භාවිතා කරලා පුද්ගලයෙක් එල්ල කරන ලද තර්කයට උත්තර නොදී තර්කයෙන් පැනලා යන අවස්ථා අපි කොයි කවුරුත් දැකලා තියෙනවනේ.මේවට තමයි අපි කියන්නේ බංකොලොත් තර්ක කියලා.බංකොලොත් තර්ක වල උල්පත තමයි පාර්ලිමේන්තුව.පාර්ලිමේන්තුවේදි විපක්ෂයෙන් ප්‍රශ්ණයක් ඇහුවහම ඒ අය බලයෙ හිටපු කාලේ කරපුවා කියපුවා ගැන ලොට් එකක් ගැන කියලා ප්‍රශ්ණය මගහරින එක.

යම් පුද්ගලයෙක්ගේ අතීතය හොද නැත්නම් ගොඩක් අය ඔහු ඉදිරිපත් කරන මතය පිළිබඳව අහන්නවත් සූදානම් නැහැ.ඔහුගේ තර්කය වෙනුවට ඔහුගේ අතීතය අලලා බැන වැදීම හෝ ඔහුව ප්‍රතික්ෂේප කිරීමයි කරන්නේ.

මේ වගේ තර්ක එහෙමත් නැත්නම් උප්පරවැට්ටි බොහෝ වෙලාවට වැඩිහිටියන් පොඩි අයගේ අවදානය වෙනතකට යොමු කිරීම සදහා යොදා ගන්නා අවස්ථා අපිට එදිනෙදා ජීවිතයේදි ඔනෙ තරම් දැක ගන්න පුළුවන්.ඒ වගේ කතා වැඩිහිටි සමාජයක් අතරේ ඵලදායී කතා බහ/ සංවාද සදහා ගැලපෙන්නේ නැහැ.ඔයාලා අතිනුත් මේ වගේ වැරදි වුනා නම් මින් ඉදිරියට පුද්ගලයන්ට පහර නොදී තර්ක හමුවේ සුහදශීලී තාර්කික කතිකාවතක් ගොඩනැගීමට උත්සහ කරන්න.නැත්නම් නුවණැත්තන්ට ඔබව පෙනෙන්නේ පරිණත නොවූ,බංකොලොත් තර්ක කාරයෙකු හැටියටයි.


  • සුලබ දෘෂ්ඨි අගතිය

අපි අකමැති දේවල් නොසලකා හැරලා අපි කැමති දේවල් පේන එකට අපි කියනවා සුලබ දෘෂ්ඨි අගතිය කියලා.

අපි කාර් එකක් ගන්න හීන මවාගෙන ඉන්නවනම් අපිට පාරට බැස්සහම හැමතැනම දකින්නට ලැබෙන්නේ අපි ගන්න හිතන් ඉන්න කාර් මොඩල් එක.බබෙක් හම්බ වෙන්න ඉන්න අම්මා කෙනෙකුට හැම තැනම දකින්න ලැබෙන්නේ බබාලව.ඒවගේම අපි දුකෙන් ඉන්න වෙලාවක ඇහෙන්නෙම දුක හිතෙන සින්දු, කතා, නාට්‍ය වගේ දේ විතරයි.කන්න කැමති කෑමක් ගැන හිතේ තියනකොටත් මග දිගට පේන්නෙම ඒ කෑම ජාතිය තමයි.මේකෙදි වෙන්නේ පාරේ කොච්චර කාර් මොඩල් ගියත් අපේ මොළයෙන් ඒවා නොසලකා හැරලා අපි කැමති දේ විතරක් උලුප්පලා පෙන්වන එක.

තව උදාහරණයක් තමයි යාළුවෙක්ව මතක්වෙනවත් එක්කම එයාගෙන් කෝල් එකකුත් එනවා.අපිටත් හිතෙනවා මාරයිනේ මතක් කලා විතරයි කෝල් එකකුත් ආවනේ කියලා.නමුත් හිතලා බලන්න දවසක් ඇතුලත අපිට කීදෙනෙක්ව මතක් වෙනවද? නමුත් ඒ හැමදෙනාම කතා කරන්නෙ නැහැ.නමුත් කලාතුරකින් සිද්ධ වෙන අර වගේ අහඹුවක් අපිට ඉස්මතු වෙලා පේනවා.

ඒ වගේම අපේ මොළය කැමති නොදන්න දේ ඉගෙන ගන්නවට වඩා දන්නදේ තව තව තහවුරු කරගන්නයි.ගොඩක් අය පොත්,පත්තර ,ටෙලිවිෂන් එක,අන්තර්ජාලය බලන්නේ නොදන්න දෙයක් ඉගෙන ගන්නම නෙමෙයි.තමන් දන්න දේ තව තව තහවුරු කරගන්නයි.කෙටියෙන්ම කියනවනම් තමන්ගෙ මතය තහවුරු කරගන්න අවශ්‍ය සාක්ෂි හොයාගන්නයි.මේ විදිහට හිතන අයට සාක්ෂි ලැබෙන්නෙත් තමන්ගෙ මතය තහවුරු වෙන ආකාරයටයි.ඒ වගේ වෙලාවට එයාලත් රැවටෙනවා තමන්ගෙ මතය හරියි කියලා.

අපි Google එකෙන් මොකක් හරි හොයනකොටත් ඇති වෙන්නේ මේ තත්වයමයි.නිදසුනක් විදිහට කියනව නම් භාවනා කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ කියලා හොයලා බැලුවොත් අපිට ලැබෙන්නේ ඒක තහවුරු කරන සාක්ෂි විතරයි.

මේ ක්‍රමයෙන් හොදටම වැඩ ගන්න පිරිස තමයි කේන්දර බලන අයයි,සාස්තර අනාවැකි කියන අයයි.මෙයාලා තමන්ගේ සාමාන්‍ය දැනීම පාවිච්චි කරලා අහඹු ලෙස යමක් පිළිබඳව මහා ලොකු විස්තරයක් කරනවා.නමුත් අපිට වගේම වැඩි දෙනෙකුට මෙයින් ක්ලික් වෙනේ හරියන එකක් හෝ කිහිපයක් විතරයි.මේකට තමයි සුලබ දෘෂ්ඨි අගතිය කියලා කියන්නේ.මිනිස්සු බොහෝ දෙනෙක් දිගින් දිගටම ඔහු කියන එක හරියි කියලා කියනකොට සාත්තර කියන කෙනාටත් ඔප්පුවෙනවා ඔහු කියපුවා හරියි කියලා.මෙයින් ඔහුත් අගතියට යනවා.දිගින් දිගටම මේ ක්‍රමය පවත්වාගෙන යන කොට දෙගොල්ලොම එකිනෙකාට රැවටෙනවා.

ආදර සම්බන්ධයකදි වගේම හිතවත් කමකදීත් අපිට පේන්නේ ඔවුනොවුන්ගේ හොද පමණයි.නමුත් නිකන් හරි හිත් අමනාපයක් හරි සැකයක් හරි ඇති වුනහොත් අපිට පේන්නේ වැරදි විතරමයි.

මේ තත්වය නිසා රට රටවල් අතර වගේම ජන වර්ග අතරත් විවිධ ගැටුම් වගේම යුද්ධත් ඇතිවිය හැකියි.වෙනත් ජනකණ්ඩායමක් පිළිබඳව සැක හිතෙන දෙයක් සමාජයේ පැතිරුණහොත් ඒ මතය තහවුරු වන සාක්ෂි දිගින් දිගටම දකින්නට ලැබෙන්නේ.මෙවැනි විටකදී දුර දිග බලා විචක්ෂණව කටයුතු නොකළහොත් දරුණු වියසන වලින් සමාජයට වන්දි ගෙවන්නට වෙනවා නොඅනුමානයි.


  • මෝහ මූල තර්ක

යම් ප්‍රකාශයක් ඔප්පු කරගැනීමට බැරි නිසා හෝ පැහැදිලි කර ගැනීමට නොහැකි නිසා එය සත්‍ය යැයි හිතන එකට කියනවා මෝහ මූල තර්ක කියලා.ඒ කියන්නේ නොදන්න කම නිසා ඇතිකරන තර්ක කියන එකයි.

අපි ජීවත් වන ලෝකයේ විශ්වාසයන් බොහෝමයක් තියෙනවා.අපි මෙහෙම හිතමුකෝ.ඉරේ හරි මැද විශාල චූඩා මාණික්‍යයක් තියෙනවා කියලා හිතාගෙන වදින්න පුදන්න පුරුදු වෙලා හිටියා කියලා හිතමුකො.අතීතයේ ඉදම්ම අපේ මුතුන් මිත්තෝ ඉරට වැදුම් පිදුම් කලානේ.ඉතින් මේ පිරිස එදා ඉදම්ම වැදුම් පිදුම් කරගෙන ආවා.තව පිරිසක් හිතුව මෙහෙම.චූඩා මාණික්‍යක් තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්.50% සම්බාවීතාවයක් දෙපැත්තටම තියෙනවා.ඒ නිසා කෝකටත් පුද පූජා ටික ඒ විදිහටම කරමුයි කියලා හිතුවා.නමුත් තවත් පිරිසක් හිතුවා ඉරේ මැද චූඩා මාණික්‍යක් තියෙනවයි කියලා ඔප්පු කරන්න බැරි වීම හේතුවෙන් කියවෙන්නෙ නැහැ එහෙම දෙයක් තියෙනවයි කියලා.ඔක තියෙන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන්.ඒත් චූඩා මාණික්‍ය වෙනුවට වෙන දෙයක් තියෙන්න බැරිද? දියමන්තියක්, තිරිවානා කැටයක්,ලොකු කළු ගලක්, යකඩ කෑල්ලක්, ගිනි කන්දක් වගේ ගොඩක් දේවල් උපකල්පනය කරන්න පුළුවන් නේද? එහෙම බැලුවහම ඔය කියන විදිහේ චූඩා මාණික්‍යයක් තියෙන්න පුළුවන් සම්බාවීතාවය කොච්චර අඩු වෙනවද?

තවත් උදාහරණයකින් මෙක තව දුරටත් පැහැදිලි කරගන්න බලමුකෝ.මිනීමැරුමක් වුණු තැනක ඔයා සිටි නිසා තව කෙනෙකු කියනවා ඔයා තමයි මේ මිනීමැරුම කළේ පුළුවන්නම් නැහැයි කියලා ඔප්පු කරලා පෙන්වන්න කියලා.නමුත් ඒක ඔප්පු කරගන්න බැරි වීම හේතුවෙන් කිය වෙන්නෙ නැහැනේ ඔයයි ඒ දේ කළේ කියලා.

ඒ වගේම අහසේ පාවෙන එළියක් දේවතා එළියක් කියලා ඔප්පු කරගන්න බැරිවීම හේතුවෙන් කියවෙන්නේ නෑ ඒක දේවතා එළියක් කියලා.ඒ වගේම ඒක දේවතා එළියක් කියලා පැහැදිලි කරගැනීමට නොහැකි වීම හේතුවෙන් කියවෙන්නේ නෑ ඒක දේවතා එළියක් කියලා.

පෘථිවියත් අගහරුත් අතර ඇති එක්තරා ප්‍රදේශයක මල් පෝච්චියක් කක්ෂගතව පවතිනවා කියලා එක් පුද්ගලයෙකු කියනවා.ඒ ප්‍රකාශය ඔප්පු කිරීමට හෝ පැහැදිලි කිරීමට නොහැකි වීම හේතුවෙන් කියවෙන්නෙ නෑ පෘථිවියත් අගහරුත් අතර මල් පෝච්චියක් තියෙනවයි කියලා.

තවත් දෙයක් තමයි සත්තු මැව්වේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ කියලා ඔප්පු කරන්න බැරි වීම නිසා හෝ පැහැදිලි කල නොහැකි නිසා කියවෙන්නේ නෑ සත්තු මැව්වේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ කියලා.ඔයාලත් ඔයාලගේ ආගම් වල නාමයෙන් මේ විදිහට යොදාගන්නා තර්ක පිළිබඳව මදකට හිතලා බලන්නකෝ.

විද්‍යාවෙන් හැමදේම ඔප්පු කරලා නැති නිසා අපිට පිළිගන්න වෙනවා විශ්වශක්තිය කියලා නොපෙනෙන බලවේගයක් තියෙනවා කියලා.නැත්නම් මේ වගේ දේවල් වෙන්නේ කොහොමද කියලා තර්ක කරන වෙලාවල් ඔයාලත් ගොඩක් වෙලාවට දැකලා ඇතිනේ.මේකත් මෝහ මූල තර්කයක්.

යම් ප්‍රකාශයක සත්‍යතාවය ප්‍රකාශ කරන විට එය සත්‍ය යැයි ඔප්පු කිරීමේ වගකීම නැතහොත් සාධනබාරය එම ප්‍රකාශය සත්‍ය යයි ප්‍රකාශකරන පුද්ගලයා සතු වගකීමක් වෙනවා.එම ප්‍රකාශය සත්‍ය නොවෙයි කියලා ඔප්පු කරලා පෙන්වන එක සැක කරන්නා සතු වගකීමක් නෙමෙයි.බොහෝ වෙලාවට වෙන්නේ ඔය වගකීම ඇගට පතට නොදැනී අනෙකාගේ කර මතට පැටවීමයි.

දේවතා එළි,දෙවියෝ,යක්කු,භූතයෝ ආදී අත්භූත දේවල් පිළිගන්නා අය කරන්නෙත් ඒ දේවල් තමාට ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන්නේ කියලා ඒවා අනෙක් අයටත් පිළිගන්න කියන එකයි.ඒක එහෙම නෙමෙයි නම් ඔප්පු කර පෙන්වන්න කියලත් කියනවා.නමුත් ඒ දේවල් සත්‍යයයි ඔප්පු කර පෙන්වීමේ වගකීම ඇත්තේ ප්‍රත්‍යක්ෂ වුනයි කියන පුද්ගලයා විසිනුයි.එලෙස ඔප්පු කර පෙන්වීම සැක කරන්නා සතු වගකීමක් නෙමෙයි.

තවත් මේ ප්‍රශ්ණෙ මුහුණුවරක් වෙන්නේ,ප්‍රතිවාදියා නොදන්න දෙයක් සම්බන්ධයෙන් ප්‍රකාශකොට ඒ දේ ප්‍රතිවාදියා නොදන්නා නිසාම එම ප්‍රකාශය සත්‍ය වෙනවා කියලා හිතන එක.එහෙම වෙන්නේ නෑ.උත්තර නොදන්න දේවල් වලට අමුතු වටිනාකමක් ලැබෙන්නේ නැහැ.


  • විද්‍යාත්මකව හිතන්න පුරුදු වෙමු

අපි පොඩිකාලේ අපි අහන හැම ප්‍රශ්ණයකටම අපේ දෙමාපියො ළග උත්තර තිබ්බා.තව ටිකක් ලොකු වෙන කොට තේරුම් ගියා අපේ සමහර ප්‍රශ්ණ වලට හරි උත්තර දෙමාපියො ළගත් නෑ කියලා.ඒ වගේම සමහර ප්‍රශ්ණ වලට කා ගාවවත් උත්තර නැති වෙන වෙලාවක් ආවා.ඒ වෙලාවට අපිට හරිම හිස් බවක් වගේම අවිනිශ්චිත හැගීමක් එනවා.අපි දැනට දන්න උත්තර ,අපිට යම් කිසි කෙනෙක් යම් කාලයක බාර දුන්න උත්තර.උදාහරණයක් විදිහට දෙමාපියන්,ගුරුවරු,නෑදෑයෝ,පූජකයෝ,යාළුවෝ වගේ අය.එයාලත් ඒ උත්තර ප්‍රශ්ණ කරන්න පුරුදු වෙලා හිටපු අය නෙමෙයි.එයාලටත් ඒ උත්තර යම් කෙනෙක් යම් කාලයක බාර දීපුවා.

සෑම ගුප්ත විද්‍යාවකින්ම වගේම ආගම් වලදීත් කරලා තියෙන්නේ මිනිසුන් නොදන්නා දේ සඳහා යම් යම් උත්තර හොයාදීමක්.උදා: වල්ගා තරු පායන්නේ විනාශයක් අත ළග ඇති විට, දෙයියන්ගේ ලෙඩ, අනතුරක් උනොත් ඒ දේ උනේ කරුමය නිසා, මුහුද ගොඩ ගලන්නේ දෙවියෝ කෝප උනහම වගේ දේ පෙන්වා දෙන්න පුළුවන්.

සෑම ප්‍රශ්ණයකටම උත්තර දැනගෙන සිටීම අත්‍යාවශ්‍යම වෙන්නේ නැහැ.ඒ වගේම දන්නෙ නැති දෙයක් දන්නේ නැහැ කියල පිළිගන්නත් ලැජ්ජා වෙන්න ඔනෙ දෙයක් නෙමෙයි.අපි කළ යුතු වෙන්නේ උත්තර නැති ප්‍රශ්ණය පිළිබදව හොයා බලා වඩා නිවැරදි පිළිතුරක් සොයා ගැනීමට උත්සහ කරන එකයි.පොඩි කාලෙ ඉදන් කාගෙන් හරි මොකක් හරි උත්තරයක් ලැබෙනකන් බලාගෙන සිටිය අපේ මොළයට මේ තත්වයට හුරු පුරුදු කරන්න නම් ටිකක් විතර අමාරු වෙයි.

අපිට තියෙන ප්‍රශ්ණ වලට පරීක්ෂාවෙන් සිට,හොදින් නිරීක්ෂණය කොට පසුව නිගමන වලට එළඹිය යුතුයි.විද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ දන්නා දෙයයි, නොදන්නා දෙයයි අතර සීමාවේ.කළින් කිවූ ආකාරයට සොයා ගන්නා ලද පිළිතුරුත් කෙළවර වෙන්නේ තවත් ප්‍රශ්ණයකට ආරම්භයක් ගෙන එමිණ් වෙන්න පුළුවන්.


  • විවෘත්තව සිතීම

අද්භූත දේවල් විශ්වාස කරන අය එහෙම නොකරන අයට කියන දෙයක් තමයි ටිකක් විවෘතව හිතන්නකෝ කියලා.විවෘතව හිතනවා කියලා කියන්නේ අළුත් අදහසක් සලකා බැලීමට සූදානමක් තියෙනවා කියන එකනේ.අපේ අවබෝධය වැඩි වෙන්න නම් අළුත් අදහස් සලකා බැලීම අත්‍යාවශ්‍යයි.අවිද්‍යාත්මක නැත්නම් මිත්‍යා දේවල් හිතීමෙන් ඉබේම විවෘතව හිතන කෙනෙක් වෙන්නෙ නැහැ.

මේ සම්බන්ධයෙන් හොද නිදසුනක් දෙන්න පුළුවන්.සිරිසේන සවස් යාමේ පයින් ඇවිදගෙන යන කොට කෙහෙල් කොළයක් හෙලවෙනවා දැකලා බයවෙලා එයාගේ හොදම යාළුවා අමල්ට කියනවා මම භූතයෙක් දැක්කනෙ කියලා.අමල් පිළිතුරු දෙනවා ඒ භූතයෙක් නෙමෙයි කියලා.එතකොට සිරිපාල කියනවා මෙච්චර දෑහැට පේන්න සාක්ෂි තියෙද්දිත් ඔයා නෑ කියන්නේ කොහොමද? ඔයා හරි පටු විදිහටනෙ හිතන්නේ කියලා.තවදුරටත් කියනවා ඔයාට කිසිම කුතුහලයක් නෑනෙ කියලා.මේක හරියට නොදැක්ක අමල් කොහොමද පිළිගන්නේ ඒ ඇත්තටම භූතයෙක්ද කියලා.අමල් කරන වැඩේ සිරිපාලව නැවතත් ඒ ස්ථානයට එක්කරගෙන ගිහින් පෙන්වනවා ඒ භූතයෙක් නෙමෙයි කෙහෙල් කොලයක් කියලා.

දැන් ඔයාලත් හිතලා බලන්න විවෘත්තව හිතන්නේ සිරිසේනද අමල්ද කියලා.සිරිසේන කෙහෙල් කොලයක් අඩ අදුරෙ සෙලවෙනවා දැක්ක ගමන් ඒ හොල්මනක් කියලා වියහැකි අනෙකුත් දේ සහ වෙනත් පැහැදිලි කිරීම් ඉවත දමලා ඉක්මන් තීරණයකටත් පැමිණියා නේද?

අපිට නොතේරෙන දෙයක් අද්භූත කියලා ලේබල් කරපු ගමන් අපි සාක්ෂි වැරදි ලෙස ගලපා වැරදි අර්ථකතන දෙන්න උත්සහ කරනවා.විකල්ප පැහැදිලි කිරීම් බොහෝමයක් තිබුණත් ඒවා සිද්ධිය කොච්චර පැහැදිලි කරනවද කියලා බලන්නත් කලින් නොසලකා හරිනවා.හොදට හිතලා බැලුවොත් පටු හිත කියලා කියන්නේ අන්න ඒකට.

යමක් පැහැදිලි කරන්න බැරි නිසාම අද්භූත පැහැදිලි කිරීම් වලට විශේෂ වටිනාකමක් ලැබෙන්නේ නැහැ.ඒකෙන් කියවෙන්නේ ඔබට පැහැදිලි කරන්න බැහැ කියන එක විතරයි.

පටු විදිහට හිතන අය ගොඩක් වෙලාවට කියන දෙයක් තමයි ඒක මට පැහැදිලි කරන්න බැහැ නමුත් ඒක පැහැදිලි වෙනවා වගේ කාටත් වැඩකට නැති අපබ්‍රංශ කතා.තව සමහරු මෙහෙමත් කියනවා, මම ඔය දේ අත්දැකලා තියෙනවා ,පුළුවන්නම් ඔප්පු කරන්න, මට බෑ ඔයාට පැහැදිලි කරන්න වගේ වැඩකට නැති කතා.අපි කලිනුත් කිව්වනේ ඔප්පු කිරීමේ වගකීම තියෙන්නේ සැකකරන්නා සතුව නෙමෙයි ප්‍රකාශ කරන පුද්ගලයා සතුවයි කියලා.

දෙයක් පැහැදිලි කිරීමට බැරි වෙන්න හේතු කිහිපයක් තියෙන්න පුළුවන්.පළවෙනි එක තමයි හේතුවට අදාළ හේතු ඵල සම්බන්ධය ගැන ඉවසීමෙන් සොයාබලා නොතිබීම.

දෙවෙනි එක තමයි තමා ඊට අදාළ තොරතුරු දැනගෙන නොසිටීම.(තමන් දෙයක් දන්නේ නෑ කියලා ලෝකෙ කවුරුත් ඒ දේ ගැන දන්නේ නෑ කියලා අපිට කියන්න බැහැ.)

තුන්වෙනි එක තමයි ඒ සිද්ධිය දැනට තියෙන දැනුමෙන් පැහැදිලි කරන්න බැරි එක.

ඒ වගේම මොකක් හරි පැහැදිලි කිරීමක් තිබ්බ පමණින්ම වැඩේ ඉවර නෑ.ඒ පැහැදිලි කිරීම තර්කානූකූලද කියලා බලන්න වෙනවා.දැනට තියෙන දැනුමත් සමග සහසුද්දෙන්ම ගැලපෙනවද කියලා බලන්න වෙනවා.ඒ විදිහට තමයි යමක් පිළිගත යුත්තේ.ඒ පිළිගත්තත් විටින් විට හොයලා බලන්න ඔනෙ.අළුතින් හොයාගන්න ඒවා එක්ක නැවත නැවත සහසුද්දෙන් ගැලපෙනවද කියලා බලන්න වෙනවා.දැන් ඔයාලා හිතන්න පුළුවන් මේක ඉවරවෙන්නෙ නැද්ද කියලා.ඔයා හරි.මේ දේ ඉවර වෙන්නෙ නෑ.වැරදි දේ ඉවත් කරන්න වෙනවා.ඒ දැනුම අළුත් කරන්න, යාවත්කාලීන කරන්න වෙනවා.


  • ප්‍රශ්ණ මග හැරීම හෝ නොසලකා හැරීම


වාර්තාකරුවෙකු විසින් මන්ත්‍රී කෙනෙකුගෙන් ගෝලීය උණුසුම සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්දැහි විමසන අතර මන්ත්‍රීවරයා ප්‍රකාශකර සිටින්නේ ගෝලීය උණුසුම යනු අපි අනිවාර්‍යයෙන්ම සොයාබැලිය යුතු තත්වයක් බවයි.මෙහිදී වාර්තාකරුට නිවැරදි පිළිතුරක් නොලැබේ.ප්‍රශ්ණය හිතාමතා නොසලකාහැර තිබේ.


  • වෙනස් වස්තූන් අතර වැරදි ලෙස සමානකරණය කිරීම

සමානතාවයන්ට වඩා විශාල වශයෙන් අසමානතා පවතින විෂයන් දෙකක් සන්සන්දනය කිරීම .උදාහරණයක් විදිහට දිනපතා හෙයාස්ප්‍රේ භාවිතා කිරීම න්‍යෂ්ටික අවියක් භාවිතාකිරීමට සමාන බව ප්‍රකාශ කිරීම.

තවත් උදාහරණයක් විදිහට,ශිෂ්‍යයන්ට විභාග වලදී පොත් පරිශීලනය කිරීමට ලබාදිය යුතුයි යන්න.මක්නිසාද යත් ශල්‍ය වෛද්‍යවරුන් විසින් ශල්‍යකර්ම කිරීමේදී එක්ස් රේ පරීක්ෂණයේ පිටපත පරිශීලනය කරනවා නම් ශිෂ්‍යයන්ට විභාගයේදී පොත් පරිශීලනය කරන එක වැරදිද යන තර්කය.


  • නොමග යැවීමේ අරමුණින් කරන තර්ක

උදාහරණයක් විදිහට ගෝලීය උණුසුම කියන ප්‍රශ්ණය පිළිබද අවධානය යොමුකල යුතුයැයි සදහන් කළ විට අනෙක් පාර්ශවය තර්ක කර කියා සිටින්නේ ඊට කලින් අප විසින් ගංවතුරෙන් නිවෙස් අහිමි ජනයා පීඩා විදින ආකාරය පිළිබද සලකා බැලිය යුතු බවයි.

මෙවන් විට සිදු වන්නේ ඔබගේ විෂයට අදාළ නොවන්නාවූ තර්කයක් ඉදිරිපත් කිරීම හෝ අනෙකාව නොමග යැවීම අරමුණු කරගෙන තර්ක කිරීමයි.


  • ලිස්සන බෑවුම

අපි මෙහෙම හිතමුකො, මන්ත්‍රීවරයෙක් ප්‍රකාශකරනවා ඖෂධ සදහා අවශ්‍ය වන නිසා අබිං නීතිගත කරනවා කියලා.ඔයාලා තර්ක කරන්නේ අබිං නීතිගත කරා කියන්නෙ ගංජා,හෙරොයින් වගේ ඒවත් ළගදීම නීතිගත කරයිනෙ කියලා.නමුත් ඉහත ප්‍රකාශයෙන් කියවෙන්නෙ නෑනේ අනෙකුත් මත් වන ද්‍රව්‍ය නීතිගත කරන බව.මේකත් අපි විසින් යොදාගන්නා වැරැදි තර්කන ක්‍රමයක්.


  • සාම්ප්‍රදාය පමණක් නිවැරදි බව

මෙහිදී පැරණි දේ මුලින් හදුන්වා දී ඇති බැවින්ද,එය තවමත් පරපුරෙන් පරපුරට පැවත ආ බැවින්ද සම්ප්‍රදාය නිවැරදි බවට පිළිගැනීමක් මෙහිදී සිද්ධ වෙනවා.මෙය හැමවිටම නිවැරදි වෙන්නේ නෑ.සාම්ප්‍රදායිකව අපේ රටේ පිළිගන්නේ තමාගේ ජාතියේ අයෙකු සමග පමණක් විවාහ වීමයි.විවිධ ජාතීන් සමග විවාහ ආදී ක්‍රම මගින් මිශ්‍රවිය හැකිනම් ජාතීන් අතර සහයෝගීතාවය වර්ධනය කර ගත හැකි අතරම ජානමය වශයෙනුත් ශක්තිමත් පරපුරක් බිහි කර ගත හැකි වේ.


  • බහුතරය නැතහොත් ප්‍රසිද්ධිය මත යැපීම

A:මිනිසින් සිය දහස් ගණනක් මම අදහන ආගම ,දර්ශනය විශ්වාස කරනවා.දීර්ඝ කාලයක් තිස්සේ ගොඩක් අය විශ්වාසයෙන් අදහලා තියෙනවා.ඒ ඔක්කොමලා වැරදි වෙන්න බෑනේ.ඒ නිසා මගේ ආගම දර්ශනය හරි වෙන්න ඔනේ.

B:ප්‍රසිද්ධ විද්‍යාඥ්ඥයෙක් වෙන ක්ලාක් මහතා වගේම බටහිර විද්වතුනුත් මගේ ආගම දර්ශනය පිළිබදව යහපත් ප්‍රකාශ ඉදිරිපත් කර ඇති නිසා මගේ ආගම දර්ශනය නිවැරදි විය යුතුයි.

යම් මතයක් බහුතරය විශ්වාස කළ පමණින්ම වගේම ප්‍රසිද්ධ නැතහොත් සමාජය පිළිගත් පුද්ගලයෙකු ප්‍රකාශකළ පමණින්ම ඒ දෙය නිවැරදි මතයක් නොවෙන්න පුළුවන් බව ඔබ හොදින් මතක තබා ගන්න.ඉන්දියාව ,ශ්‍රී ලංකාව වගේ සංවර්ධනය වෙන රටවල ඊනියා උගතුන් යම් යම් ලාබ ප්‍රයෝජන උදෙසා මිත්‍යාව ප්‍රචාරය කර හරින වාහකයන් බවට පත්ව ඇති බව කරුණු අධ්‍යයනය කළවිට පේන්න තියෙන කාරණයක්.


  • උපකල්පන ආරෝපිත ප්‍රශ්න

යම් කෙනෙකුගේ චරිතයට මඩ ගැසීම සදහා මේ ක්‍රමය බොහෝ වෙලාවට යොදාගැනෙනවා.තමාගේ අදහස යම්තාක් දුරට හෝ සත්‍ය බව අගවන්නට මෙවැනි ප්‍රශ්න අහන අවස්ථා ඔයාලත් දැකලා ඇති.යම් පුද්ගලයෙකු මෙලෙස ප්‍රශ්නයක් අසයි.ඔයා අද හවස අහවල් ක්ලබ් එක ළග හිටියද?ඔයා මේ ප්‍රශ්නයට කොහොම පිළිතුරක් දුන්නත් අනෙක් අය ඔයා බේබද්දෙක් දෙස බලන ආකාරයට බලන එක වැලැක්විය නොහැකියි.තව කෙනෙක් මෙහෙම අහනවා.ඔයා ඊයෙ හවස අහවල් මසාජ් සෙන්ටර් එක ළග ඉන්නවා දැක්කා.ඔයා මේකට ඔව් කිව්වත් ඔව් නොකියා විස්තර කරන්න හැදුවත් මේ ප්‍රශ්නයෙන් ඔයාව අනෙක් අය ඉදිරියේ සල්ලාලයෙකු හැටියට පෙන්වීමට උත්සාහ කිරීමක් කරන්නෙ.මෙවැනි ප්‍රශ්න අහන බොහෝ අය කතාව නවත්වන්නේ මම මෙහෙම ඇහුවෙ හරියටම ෂුවර් කරගන්යි කියමින්.මේ වගේ වෙලාවට තැනට සුදුසු ණුවන යොදාගෙන ප්‍රශ්නයට මුහුණදීමයි උචිත වෙන්නේ.


  • ළමයා පඹයා කිරීම

මෙහිදී ප්‍රතිවාදියාගේ අදහස නියමාකාරයෙන් නොගෙන,එය වඩාත් සරල කර දුර්වල අදහසක් ලෙස පෙන්වා පසුව එම දුර්වල අදහස වැරදි බව පෙන්වමින් විවාදය හෝ සාකච්චාව ජයගත් බවට ඔප්පු කර පෙන්වීමට උත්සහ කරීම මෙහිදී සිදු වේ.මෙය හරියට ළමයෙකුව බිම ඇද දැමිය නොහැකි වූ විට ඒ වෙනුවට අසල තිබෙන පඹයෙකු බිම ඇද දැමීමකට සමානය.

ජීව විද්‍යා ගුරුතුමා පරිණාමය ඉගැන්වීම ආරම්භ කරන්නේ සියළු දේ පරිණාමය වන බවට ප්‍රකාශ කරමින්.ශිෂ්‍යයෙක් ප්‍රකාශ කර සිටින්නේ මිනිසා කුඩා ජීවියෙකුගෙ පටන් පරිණාමය වූ බවට පිළිගත නොහැකි බවයි.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් තම ආචාර්‍යවරයාට කියා සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ තනතුරේදී ඉහළ කුසලතාවයක් දක්වන බවට තමා සිතන බවයි.එවිට ආචාර්‍යවරයා කියා සිටියේ තම ශිෂ්‍යයා ජාතිවාදයට පක්ෂපාතී බව තමාට විශ්වාස කිරීමට පවා නොහැකි බවයි.

සුළු ජාතීන්ට තම පූජනීය ස්ථාන ඉදි කිරීමට නිදහස තිබිය යුතු බවට අමිල ප්‍රකාශ කළ විට ඊට පිළිතුරු ලෙස කමල් කියා සිටියේ පන්සල් කඩා පල්ලි හදන්න ඉඩදෙන්නේ කොහොමද යනුවෙනි.


  • ස්වභාවිකත්වය ආරෝපණයෙන් රැවටීම

මෙහිදී යම් කිසි දෙයක ස්වභාවිකත්වය පෙන්වා එය නිවැරදි හොඳම දේ බවට තර්ක කිරීම කරනු ලබනවා."නැවුම් එළවළු / පළතුරු සාරයෙන් හදලා තියෙන්නේ.මේ කොළපාටින්ම ඒ බව තහවුරු වෙනවනේ."මේ වගේ දැන්වීම් ප්‍රචාරය වෙනවා ඔයාලත් දැකලා ඇතිනේ.නමුත් මේ වගේ නිෂ්පාදන වල වැඩි හරියක්ම කෘතීම රසකාරක අඩංගු වගේම , විවිධ මිනිස් ශරීරයට අහිතකර රසායනික අන්තර්ගත වෙන එක සත්‍ය කතාව.

මේ ලිපිය මෙතෙක් කියවගෙන ආව ඔයාට දැන් තේරෙනවා ඇති අපි අතින් මෙතෙක් සිදුවුන වැරදි ගැන.දැන් ඒවා ගැන පසුතැවිලි වීමෙන් වැඩක් නෑ.හෙට ඉදන් අළුත් විදිහට හිතන්න පුරුදු වෙමු.දූපත් මානසිකත්වයෙන් මිදෙමු.


හසිත අබේසිංහ

Popular posts from this blog

පැරණි ලෝකයේ ගංඟා නිම්න ශිෂ්ඨාචාර

මනස නිර්වින්දනය කිරීම

ඡත්ත මානවක ගාථා

කැමති අකමැති කවුරුත් මාමයිට් ගැන නොදත් කතාව

පෙරුම්කායම්