කැමති අකමැති කවුරුත් මාමයිට් ගැන නොදත් කතාව

මාමයිට් වලට සමහරු කැමති වුවත් තවත් සමහරෙක් අකමැති කෑමක්.මෙනිසා තමයි ඔවුන්ගෙ වෙළඳ දැන්වීම් වල " Love it or Hate it " කියලා සදහන් කරලා තියෙන්නෙ.මේක කෑමක් විදිහට වගේම රසවත් බීමක් විදිහටත් පිළියෙල කරගන්න පුළුවන්.

මාමයිට් අත්වැරදීමක් නිසා 1902 දි Justin Liebig කියන ජර්මානු විද්‍යාඥ්ඥයෙක් අහම්බෙන් සොයාගත් දෙයක්.මේ විද්‍යාඥ්ඥයා මේ පරීක්ෂණයෙන් සොයාගන්නවා Brewer’s Yeast ( බීර මන්ඩි )(මේක ඇත්තටම දිලීර ජාතියක්) කියන දිලීර ජාතිය කෑමට ගන්න පුළුවන් වගේම බෝතල් කර අසුරා කල් තබා ගන්නත් පුළුවන් කියලා.ඒ වගේම මෙය ආහාර රස කර ගැනීමටත් යොදා ගන්නවා.1902 දි එංගලන්තයේ Burton on Trent ප්‍රාන්තයේ StaffordShine කියන නගරයේ මාමයිට් නිෂ්පාදනාගාරයක් ස්ථාපනය කරනවා.මෙම තෝරා ගැනීමට මූලික හේතුව වූයේ මාමයිට් නිෂ්පාදනයට අවශ්‍ය කරන බීර මන්ඩි එම නගරය අවටින් පහසුවෙන් සොයාගැනීමට හැකිවීමයි.මාමයිට් හදන්න බීර මන්ඩි වලට අමතරව ලුණු,කුළු බඩු,සැල්දිරි,ෆොලික් අම්ලය,විටමින් බී12,thiamin වගේම riboflavin යොදාගන්නවා.මෙම මූලික අමුද්‍රව්‍ය ප්‍රසිද්ධ වුනත් මාමයිට් හදන්න ගන්න සැබෑ වට්ටෝරුව තවමත් ව්‍යාපාරික රහසක්.මාමයිට් වල පෝෂණ ගුණය 100g ප්‍රමාණය මේ විදිහට දක්වන්න පුළුවන්.

Energy 1153Kj

Calories 271kcal

Protein 39g

Carbohydrates 29g

Fat <0.5g

Fiber 3.1g

Salt 6.1g

Thiamin(B1) 13.6mg

Riboflavin(B2) 8.5mg

Niacin(B3) 86mg

Folic Acid(B9) 1500µg

Vitamin B12 25µg

ඉහත පෝෂණ ගුණයන් නිසාම අතීතයේදී ඖෂධයක් ලෙසත් මාමයිට් පාවිච්චි කරලා තියෙනවා.1934 දි ලංකාව පුරා පැතිර තිබූ මැලේරියා වසංගතයෙන් රෝගී වූ පුද්ගලයන්ගේ පෝෂණය වෙනුවෙන් මාමයිට් පාවිච්චි කරලා තිබුණා.මේ කාලයේ මාමයිට් වලට තිබුණ දැඩි ඉල්ලුම නිසාම මාමයිට් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙස පුළුල් ප්‍රචාරණයක්ද ලබාදී තිබුණා.ඒ වගේම 1930දී බොම්බායේ කර්මාන්තශාලාවක සේවකයින් පිරිසකගේ රක්ත හීනතාවය සුව කිරීමටත් මාමයිට් යොදාගෙන තිබුණා.

මාමයිට් කියන වචනයේ තේරුම "කැසරෝල් භාජනය" කියන එකයි.මේ නම ප්‍රංශ භාෂාවෙන් පැමිණි එකක්.ප්‍රංශ භාෂාවෙන් මෙය නිවැරදිව උච්චාරණයේදී " මාමියිට් " කියලයි කියවෙන්නෙ.ඒ කියන්නෙ තැම්බීම් සදහා යොදාගන්නා භාජනය කියන එකයි.

1902 දී ආරම්භ කල මාමයිට් ආයතනයේ අයිතිය 1990 වන විට බොව් රිල් සමාගම යටතට පත් වෙන අතර ඊට පසුව සීපීසී ඉන්ටනැෂනල් සමාගම යටතට පත් වෙන අතර 1998 දී එහි නම බෙස්ට් ෆුඩ් යනුවෙන් වෙනස් වෙනවා.2000 වසර වන විට බෙස්ට් ෆුඩ් සමාගම , යුනිලීවර් සමාගම සමග එකතුවෙනවා.වර්තමානය වන විට මාමයිට් යුනිලීවර් සමාගමේ අයිතිය යටතේ තමයි නිෂ්පාදන කටයුතු සිදු කරනු ලබන්නේ.

මාමයිට් වර්ග 2ක් නිෂ්පාදනය වෙනවා.එකක් කහ ඇසුරුමේ එන බ්‍රිතාන්‍ය මාමයිට් සහ අනෙක රතු ඇසුරුමේ එන නවසීලන්ත මාමයිට් වශයෙන් .ශ්‍රී ලංකාවේ අපි කන්නේ බ්‍රිතාන්‍යයෙන් ගෙන්වන මාමයිට්.

මාමයිට් ගුණදායී වුනත් වැඩිපුර කෑම මෙහි ඇති අධික ලුණු ප්‍රතිශතය නිසා අක්මාවටත්,වකුගඩු වලටත් හිතකර වෙන්නෙ නැහැ.මාමයිට් වල දෛනික වැඩිහිටියෙකුට අනුමත ප්‍රමාණය 4g ක් සහ දරුවෙකුට 2g වශයෙනි.මාමයිට් විවිධ ආහාර පාන රස ගැන්වීමට යොදා ගන්නවා.ඒ වගේම මාමයිට් කෑවහම අපේ ඇගෙනුත් ඒ සුවද සුළු වශයෙන් වහනය වෙනවා.මේ නිසා මදුරුවන් දෂ්ට කිරීමෙන් පවා වලකිනවා කියලා සදහන් වෙනවා.




හසිත අබේසිංහ

Popular posts from this blog

පැරණි ලෝකයේ ගංඟා නිම්න ශිෂ්ඨාචාර

මනස නිර්වින්දනය කිරීම

ඡත්ත මානවක ගාථා

පෙරුම්කායම්