ඩොනල්ඩ් ට්‍රම්ප් ,ඇමෙරිකානු ඩොලරය සහ රුපියල අවප්‍රමාණය වීමේ සත්‍ය

ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් කියලා කියන්නෙ ලෝකයේ බලවත්ම රාජ්‍ය වන අමෙරිකා එක්සත් ජනපදයේ 45 වන ජනාධිපති වරයායි.මොහු එරට ධනවත්ම ව්‍යාපාරිකයෙකුද වනවා.ඩොනල්ඩ් ට්‍රම්ප් 1946 ජූනි 14 වන දින මේරි ට්‍රම්ප්ට සහ ඉඩම් සංවර්ධකයෙකු වූ ෆෙඩ් ට්‍රම්ප් යුවලගේ ළමුන් පස්දෙනාගෙන් ,හතරවෙනියා වශයෙන් නිව්යෝක් නුවරදී උපත ලබනවා.මොහු 1968දී පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ වෙරටන් පාසලෙන් තමාගේ උපාධිය ලබාගැනීමෙන් අනතුරුව තම පියාගේ ව්‍යාපාරික කටයුතු වලට සම්බන්ධ වී වැඩ කටයුතු කරනවා.1971 දී ව්‍යාපරික කටයුතු වල පාලන බලය ට්‍රම්ප්ට හිමි වූ අතර ඔහු ව්‍යාපරය පුළුල් කර , ඒවා දියුණුවෙන් දියුණුවට පත් කළා.ට්‍රම්ප් විවාහයන් තුනක් කරගත් අතර ඉන් පළමු විවාහයන් දෙක දික්කසාදයෙන් කෙළවර වුණා.මොහුට විවාහයන් තුනෙන් දරුවන් පස් දෙනෙක් සහ මුණුපුරන් අටදෙනෙකු සිටිනවා.

දැන් අපි බලමු මේ දවස් වල වැඩියෙන්ම කතා වෙන රුපියලේ අවප්‍රමාණය වීම ගැන.ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇත්තටම රුපියලට මොකද වුණේ කියලා ? 

අපි හැමෝම දන්න විදිහට මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත්වෙලා තියෙනවා.භණ්ඩ, සේවා, ප්‍රවාහනය, සන්නිවේදනය වගේම සංස්කෘතික වශයෙනුත් අපි විවිධ රටවල් සමග සම්බන්ධතා පවත්වනවා.මෙලෙස සම්බන්ධතා පවත්වද්දී බොහෝ රටවල් ප්‍රමාණයක් තම ගණුදෙනු සඳහා පොදුවේ භාවිතා කරනු ලබන්නේ ඩොලරයයි.මේ නිසා ඩොලරයත් සමග අපිට තියෙන්නේ අත්හැරිය නොහැකි සම්බන්ධතාවයක්.ඒ අපේ රට හුදකලා නොවූ අනෙක් රටවල් සමග අන්තර්ජාතික සම්බන්ධතා පවත්නා රාජ්‍යයක් වීම නිසයි.

දේශීය විදේශීය වෙළදපොළ තුළ රුපියලේ බාහිර අගය තීරණය වන්නේ රටේ ආනයනය, අපනයනය, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ, විදේශ ආයෝජන, විදේශ ණය හා සම්බන්ධ ලැබීම් සහ ගෙවීන් ආදී සාධක මතයි.

හොඳ මුදල් ඒකකයක් ආකර්ශණීය වගේම ස්ථාවර වටිනාකමින් යුක්ත වෙන්න ඕනේ .ඇමරිකානු ඩොලරය,බ්‍රිතාන්‍ය පවුම ආදී දියුණු රටවල මුදල් ඒකක ආකර්ෂණීය බවකින් යුක්තයි.ඇමරිකානු ඩොලරයකට රුපියල් වලින් කොපමණ ප්‍රමාණයක් ලබාදිය යුතු වන්නේද යන්න මත මුදලේ වටිනාකම තීරණය වෙනවා.

දැන් අපි බලමු අපේ රටට ඩොලර් ලැබෙන්නේ කොහොමද කියලා.අපි පිට රටට විකුණන භාණ්ඩ (උදා: තේ, පොල්, රබර්, කුරුදු ආදී කුළු බඩු ), විදේශයන්ට සපයන සේවා (උදා: වරාය හා ගුවන්තොටුපොළ සේවා, විදේශ රට වල සේවය කරන සේවකයින්ගෙන්, සංචාරක කර්මාන්තයෙන්), වගේම විදේශිකයින් අප රට තුළ සිදු කරන ආයෝජන මගින් රට තුලට ඩොලර් ලැබෙනවා.ඒ වගේම අපේ රටේ අවශ්‍යතාවෙනුවෙන් වෙනත් රටවලින් ගෙන්නගන්න භාණ්ඩ වලට ඩොලර් වලින් ගෙවීම් කිරීමට සිදු වීම, විදේශ ණය ගෙවීම ආදිය නිසා ඩොලර් වියදම් වෙනවා.

2016 ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා බලයට පත්වෙන්වා.ඔහුගේ ප්‍රතිපත්ති සකස් වෙලා තිබුණේ රටේ දේශීය කර්මාන්ත නගාසිටුවීමට සහ ඩොලරය ශක්තිමත් කිරීම සදහායි.මෙයින් එක් උපායමාර්ගයක් වුණේ ආදායම් බදු නිදහසක් ලබාදීමයි.මෙමගින් ධනපතියන් වෙනත් රට වල (ශ්‍රී ලංකාව ඇතුළුව) ආයෝජනය කර තිබූ ආයෝජන නැවත ඇමරිකාවේ වෙළඳ පොළ තුළ ආයෝජනය කිරීමට පෙළඹවීමක් ඇතිවුණා.ඒ වගේම ඇමරිකානු මහ බැංකුව (ෆෙඩරල් රිසව්) පොළී අනුපාතිකය ඉහළ දැමීමත් සමගම තම රටේ ආයෝජකයන්ව රට තුළම ආයෝජනය කිරීමට පෙළඹවීමක් ඇති කළා.පොළී අනුපාතය වැඩි වීමත් සමගම ඇමරිකානු බැදුම්කර වල පොළියද ඉහළ ගියා.ඇමරිකානු ඩොලර් වලින්ම ආයෝජනය කිරීමේ හැකියාවත්, අවදානම අඩුවීමත්, ප්‍රතිලාභ වැඩි වීමත් යන හේතු නිසා ආසියාවේ ආයෝජනය කර ඇති බොහෝ ආයෝජකයෝ එම ආයෝජන ඉවත් කරගෙන නැවත තම රටේම ආයෝජනය කිරීමක් දක්නට ලැබුණා.ලංකාවෙත් බැදුම්කර හා කොටස් වෙළදපලින් විදේශීය ආයෝජකයින්ගෙන් සෑහෙන පිරිසක් ඉවත්වීම දක්නට තිබුණා.මේ නිසා රටේ ඩොලර් ප්‍රමාණය අඩු වීමක් සිද්ධ වුණා.මේ කාල වකවානුවේ ඇමරිකානු කොටස් වෙළදපලවල් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර ආසියාවේ කොටස් වෙළදපලවල් වල බහින කලාවක් දකින්නට තියෙනවා.මේ දෙක අතර සම්බන්ධතාවයක් තියෙනවා.ඒ සම්බන්ධය තමයි ආසියාවේ ආයෝජනය කර තිබූ ඩොලර් නැවත ඇමරිකාව තුල ආයෝජනය වීම. 

දැන් අපි බලමු ඩොලරයක වටිනාකම තීරණයවෙන්නේ කොහොමද කියලා.ඩොලරයක වටිනාකම තීරණය වෙන්නේ Foriegn Exchange Market එකේ කොච්චර ඩොලර් ප්‍රමාණයක් තියෙනවද කියන එක මතයි.ඒ ඩොලර් ප්‍රමාණය මත මේ වටිනාකම තීරණය වෙනව.විශාල ඩොලර් ප්‍රමාණයක් රට තුළින් ඉවත් වුවහොත් රුපියලේ අගය පහළ වැටීමක් සිද්ධ වෙනවා.මේ වෙලාවෙදිත් සිද්ධ වෙලා තියෙන්නේ මේ වගේ තත්වයක්.රටේ මහ බැංකුව සතුව තිබෙන ඩොලර් සංචිත තිබෙන ප්‍රමාණය මත රුපියල ආරක්ෂා කිරීමේ හැකියාවක්ද පවතිනවා.උදාහරණයක් විදිහට මහ බැංකුව සතුව ඩොලර් මිලියනයක් තියෙනවා කියලා හිතුවොත් ඒවා වෙළදපොළ තුළට නිකුත් කිරීම තුළින් රුපියල පහළ වැටීම නවත්වලා ස්ථාවර කරගැනීමේ හැකියාවක් තියෙනවා.අපි මේ වෙලාවෙදි බලන්න ඕනෙ ඇයි අපි සංචිත තියාගන්නේ කියලා.රටක් සංචිත තියාගන්නේ ආනයන මාස 11 අවශ්‍ය ප්‍රමාණයටත් ඉදිරි ණය වාරික සහ පොළී ගෙවීම වගේ කරුණු සදහාත්.මේ ඩොලර් ප්‍රමාණය මුළුමනින්ම වෙළදපොලට නිකුත් කළහොත් හදිසි අවස්ථාවකදී අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා ආනයනය කිරීමට සහ දැනට ලබාගෙන ඇති ණය වාරික සහ පොළී ගෙවීමට මුදල් නැතිවෙනවා.ඒ වගේම සංචිත අඩුවීමෙන් රුපියල ආරක්ෂාකර ගැනීමේ හැකියාව තවදුරටත් අඩුවෙනවා.

2018 ජූලි මාසය වන විට ශ්‍රී ලංකාවේ දළ විදේශ සංචිත ඇ.ඩො.බි.8.4 ක් දක්වා වර්ධනය වූ බවත් එය 2018 නිමා වන විට ඇ.ඩො.බි.9 දක්වා ඉහළ යනු ඇතැයි යන අනාවැකිය ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පසුගිය කාලයේ ප්‍රකාශකර තිබුණා.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉහත ප්‍රතිපත්ති නිසා ලංකාවේ වගේම ලෝකයේ බොහෝ රටවල මුදල් ඒකක අවප්‍රමාණය වීමක් සිද්ධ වුණා.

මෙවැනි අවප්‍රමාණ වීම් වලදී ආනයනය කරුවන් අධෛර්යමත් වෙලා අපනයනයකරුවන් දිරිමත් වීමක් කෙටිකාලීනව දැකගන්න හැකි වෙනවා.නිදසුනක් ලෙස පරිඝනක මෙරටට ගෙන්වීමට රුපියල් වලින් වැඩි ප්‍රමාණයක් වැය කිරීමට සිදු වන අතරම තේ ආදිය පිටරට යවන අයට රුපියල් වලින් වැඩි ප්‍රමාණයක් තම අතට ලැබෙනවා.නමුත් ඇමරිකානු ඩොලරය ඉහළ යාම නිසා ලෝකයේ අනෙකුත් රටවල මුදල් ඒකකත් සාපේක්ෂව අවප්‍රමාණය වීම නිසා මේ තත්වයට බලපෑමක් එල්ල විය හැකියි.නිදසුනක් විදිහට අපේ රටෙන් යම් භාණ්ඩයක් මිලදී ගන්නා රටක මුදල් ඒකකයත් මෙලෙසම අවප්‍රමාණය වුවහොත් ඔවුන් ඔවුන්ගේ ආනයනය සීමා කිරීමක් සිදු කරනු ලබනවා.ඒ වගේ වෙලාවක අපේ භාණ්ඩ පෙර පරිදිම අපනයනය කිරීමේ ගැටළුවක් ඇතිවීමේ හැකියාව තියෙනවා.මේ වගේ තත්වයකදි රට තුලට වෙනත් රටවලින් ගෙන්වන අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ යාමට පුළුවන් වගේම ජනතාවට හිමි විය යුතු සහන බොහෝමයක් අහිමි වෙන්නත් පුළුවන්.

ඉහතින් අපි සාකච්ඡා කල ඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටීම අර්ධ සත්‍යක් විතරයි.අපේ රුපියල අවප්‍රමාණය වෙන්නේ ඩොලරයට සාපේක්ෂව විතරක්ම නෙමෙයි.අනෙක් රටවල මුදල් ඒකක වලට සාපේක්ෂවත් රුපියල අවප්‍රමාණය වෙමින් පවතිනවා.දළ වශයෙන් 2018 වර්ෂයේ විතරක් යුරෝ වලට සාපේක්ෂව 7.3% නුත්, ජපන් යෙන් එකට සාපේක්ෂව 10% නුත්,ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව 2% නුත්,බංගලාදේශයේ ටකා වලට සාපේක්ෂව 8% නුත්,බ්‍රිතාන්‍ය පවුමට සාපේක්ෂව 7% නුත්,සිංගප්පූරු ඩොලරයට සාපේක්ෂව 4% නුත් රුපියල අවප්‍රමාණය වෙලා තියෙනවා.මේකෙන් පේන්නේ ඇමරිකානු ආර්ථික ප්‍රතිපත්තිය නිසා රුපියල අවප්‍රමාණය වෙනව පමණක් නෙමෙයි ශ්‍රී ලංකාව අනුගමනය කරන වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා රුපියල අවප්‍රමාණය වෙමින් පවතිනවා කියන එක නෙමෙයිද? 

රුපියල කඩා වැටීමට හේතු වුන හේතු සාධක කිහිපයක් අපි හොයලා බලමු.ලංකාවට වසරකට භාණ්ඩ ආනයනය කිරීමට ආසන්න වශයෙන් ඩොලර් බිලියන 20 අවශ්‍ය වෙනවා.වසරකට භාණ්ඩ විකුණලා ලැබෙන්නේ ඩොලර් බිලියන 10 යි.විදේශ විනිමය උපයන ප්‍රමාණයට වඩා වියදම් කරන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා.ආර්ථික විද්‍යාවේදී මේකට වෙළද ශේෂය කියලා කියනවා.අපේ රටේ වෙළඳ ශේෂය වාර්තා කරන්නේ හිගයක් වශයෙන්.2017 වර්ෂයේ ඇ.ඩො.බි.10 ක හිගයක් වාර්තා කරලා තියෙනවා.2018 අවසන් වන විට මේ අගය ඇ.ඩො.බි.12 ක්වත් වෙන්න පුළුවන්කම තියෙනවා.2021 දක්වා විදෙස් ණය ගෙවීමට ලංකාවට වසරකට ඩො.බි.4 ක අවශ්‍යතාවයක් තියෙනවා.භාණ්ඩ ගෙන්වීමට සහ ණය වාරික ගෙවීමට මේ වර්ෂයේදී ඩො.බි.24 ක අවශ්‍යතාවයක් පවතිනවා.අපේ රට කෘෂිකාර්මික රටක් වුනත් අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සදහා පමණක් වාර්ෂිකව ඇ.ඩො.බි.2 කට ආසන්න ප්‍රමාණයක් වියදම් කරනවා.ඒ වගේම ලංකාවේ විදේශ ණය සම්බන්ධයෙන් විශේෂයෙන්ම කිවයුතු කාරණයක් වෙන්නේ ලංකාව පාලනය කල එදා මෙදා තුර සිටි සියළුම රජයන් ලබාගත් විදේශ ණය යොදා ගනු ලැබුවේ ප්‍රතිලාභයක් නොලැබෙන මාර්ග වලයි.ප්‍රතිලාභ ලැබෙන මාර්ග වල මේ ණය මුදල් ආයෝජනය කර තිබුණා නම් එම ආදායමෙන් ණය වාරික හා පොළී ගෙවීමට හැකියාව තිබුණා.නමුත් යොදාගත් වැරදි ප්‍රතිපත්ති නිසා ණය හා වාරික ගෙවීමේදී තව තවත් විදේශ ණය ගැනීමට සිදුවන තරමට විශාල අර්බුධයකට රට මුහුණ පාලා තියෙනවා.භාණ්ඩ විකුණලා ඩො.බි.10 ලැබෙනවා.විදෙස් ශ්‍රමිකයින්ගෙන් ඩො.බි.7 වගේම සංචාරක කර්මාන්තයෙන් ඩො.බි.1.5 ලැබෙනවා.ඒ කියන්නේ අපේ අතේ තියෙන්නේ ඩො.බි.18.5 යි.ඩොලර් ඉල්ලුම වැඩි වෙලා තියෙනවා, සැපයුම අඩු වෙලා තියෙනවා.මේ නිසා ඩොලරයේ අගය ඉහළ යමින් පවතිනවා.මේ විදිහට ඩොලරයේ අගය ඉහළ යාමේ ප්‍රධානම සාධකයක් වෙන්නේ අපේ රටට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය සපයා ගැනීමට අසමත් වීමයි.

1950 දී අපි ඇමරිකානු ඩොලරයක් සදහා ගෙවන ලද්දේ රු.4.76 වගේ ගානක්.මේ ප්‍රමාණය 1960 දක්වා තිබුණත් 1960 ආණ්ඩුව විසින් රුපියල 20% අවප්‍රමාණය කර තිබුණා.එදා පටන් අද දක්වා රුපියල අවප්‍රමාණය වෙමින් පැමිණෙනවා.ශ්‍රී ලංකාවේ විවිධ ආණ්ඩු තිබූ කාලවල රුපියලේ අවප්‍රමාණය අනුව ඩොලරයකට ගෙවන ලද රුපියල් ප්‍රමාණය මේ විදිහට බලා ගන්න පුළුවන්.

1978 දී රු. 16.12 සිට 1989 වන විට රු. 33.39 ලෙසත්

1989 දී රු. 33.39 සිට 1993 වන විට රු. 46.77 ලෙසත්

1993 දී රු. 46.77 සිට 1994 වන විට රු. 49.59 ලෙසත්

1994 දී රු. 49.59 සිට 2005 වන විට රු.103.47 ලෙසත්

2005 දී රු.103.47 සිට 2015 වන විට රු.132.20 ලෙසත්

2015 දී රු.132.20 සිට 2018/11/5 වන විට රු.176.05 ලෙසත් දක්වන්න පුළුවන්.

දැන් අපි බලමු මෙහෙම වුනේ ඇයි කියලා.1970 දශකය වෙනකම් ලංකාවේ ප්‍රධානම අපනයන බෝග වුනේ තේ,පොල්,රබර්. ලෝක වෙළදපොලේ අවශ්‍යතා මෙන්ම ඉල්ලුම සීඝ්‍රයෙන් වෙනස්වීමකට භාජනය වෙන්න පටන්ගත්තා.තේ,පොල්,රබර් වෙනුවට ලාබදායී වෙනත් විකල්ප වෙළදපොලට පැමිණීමත්, ජාත්‍යන්තර වෙළදාමේ අවශ්‍යතා වෙනස් වීමත් සමගම අපි අපනයනයෙන් ලබාගත් ආදායම්ද ක්‍රමයෙන් අනෙකුත් අවශ්‍යතා වලට ආපේක්ෂව අඩු වුණා.තරගකාරී නව වෙළදපලට අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය කර අපනයනය කිරීම සම්බන්ධයෙන් දැක්මක් මෙතෙක් ආණ්ඩු කල කිසිවෙකුට තිබුණ බවක්වත් පේන්න තිබ්බේ නෑ.ඒ වගේම රටේ ආර්ථිකය ගොඩනගන්න දීර්ඝ කාලීන ස්ථාවර වැඩ පිළිවෙලක් රටට තිබුණයි කියලා පෙන්නත් නෑ.

ඒ වගේම රටට ඩොලර් උපයාගත හැකිව තිබූ ආයතන පිටරටට විකුණා දැමීමත් සිද්ධ වුණා.වරායෙන් කොටසක් චීනයටත්,ඛණිජ තෙල් වලින් කොටසක් ඉන්දියන් සමාගමකටත් ආදී වශයෙන් එකී මෙකී නොකී ආකාරයෙන් විදේශ ආයෝජකයන් අත පවතින සමාගම් වලින් පිට රට වලට ඩොලර් ඇදී යාම සිද්ධ වෙනවා.

මේ තත්වය විසදීමට නම් කෙටිකාලීනව රජයට මැදිහත්වීමට සිද්ධ වෙනවා.ඩොලර් සංචිතය යම් ප්‍රමාණයකට යොදවා රුපියල ස්ථාවර තත්වයකට පත් කල යුතු වෙනවා.නැතිනම් ලංකාවට ඩොලර් එවන විදේශවල සිටින ශ්‍රමිකයන් වගේම විවිධ පාර්ශව ලංකාවට ඩොලර් වලින් මුදල් එවීම ප්‍රමාද කරනවා.මොකද, අදට වඩා හෙට ඩොලර් එව්වොත් වැඩිපුර රුපියල් ප්‍රමාණයක් ලබාගත හැකි නිසාවෙන්.ඒ වගේම ආයෝජකයෝ රට තුළ ආයෝජනය කිරීමට අධෛර්යමත් වෙනවා.මේ ආකාරයෙන් ඩොලර් පැමිණීම ප්‍රමාද වන්න වන්නට ලංකාවට පැමිණෙන ඩොලර් අඩුවන්න අඩුවන්න මෙය චක්‍රිය ප්‍රවාහයක් ලෙස නැවත නැවත රුපියල අවප්‍රමාණය වීම කෙරෙහි බලපානු ලබනවා.මේ නිසා ප්‍රථමයෙන් රුපියල ස්ථාවර තත්වයකට පත්කල යුතු වෙනවා.

දෙවනුව රට තුළට විදේශීය ආයෝජකයන් අද්දවා ගැනීමට වැඩ පිළිවෙලක් සකස් කරගත යුතු වෙනවා.( බදු සහන ,පොළී අනුපාතික වැඩි කිරීම මගින්).මේවා ණය නොවිය යුතු වගේම තවදුරටත් විදේශ ණය ගැනීම සීමා කල යුතු වෙනවා.හැකි සෑම විටම විදේශ ආධාර ලබා ගත හැකි අවස්ථා පිළිබදව සූක්ෂමව සොයා බලා කට යුතු කලයුතු වෙනවා.එලෙස ලබා ගන්නා ආධාර රට සංවර්ධනය කිරීමට අවශ්‍ය මාර්ග වල ප්‍රශස්ථව යෙදවිය යුතු වෙනවා.එමෙන්ම දූෂණය ,නාස්තිය වැලැක්වීමට දැඩි ලෙස පාලන උපක්‍රම යෙදවිය යුතු වෙනවා.

ඊළගට රට තුළ නිෂ්පාදනය කල හැකි හා ලබාදිය හැකි සේවා සම්බන්ධයෙන් දිරිමත් කිරීම කළ යුතු අතරම ඒ භාණ්ඩ හා සේවා වෙනුවට ආදේශක විකල්ප පිට රට වලින් ගෙන්වීම සීමා කල යුතු වෙනවා.එමගින් ඩොලර් පිට රටට ඇදී යාම යම් ප්‍රමාණයකට නවතා දැමිය හැකි වෙනවා.

ඒ වගේම වර්ථාමානයේ ලෝක වෙළඳපොලේ අවශ්‍යතාවයට වගේම ඉල්ලුමට සරිලන උසස් ගුණත්වයෙන් යුතු නිෂ්පාදන සහ සේවා රට තුළ සිදු කිරීමට අවශ්‍ය දිරිගැන්වීම් සිදු කිරීම තුළින් විදේශ වෙළදපොලට ගැලපෙන නිෂ්පාදනයක් රට තුළ ඇති කිරීම කල යුතු වෙනවා.මෙය දීර්ඝකාලීන සැලැස්මක් මත සිදු කිරීමට අත්‍යාවශ්‍යයි. 

ඉහත ආකාරයට විදේශ විනිමය උපයා ගත හැකි සාර්ථක වැඩ පිළිවෙලක් ක්‍රියාවට නැංවීම තුළින් රුපියලේ අගය නැවත ඉහළ නංවා ගන්නේ නම් ශ්‍රී ලංකා රුපියලට අනාගතයේදී හොද කල දවසක් උදාවනවා නොඅනුමානයි.

(ඉහතින් දක්වා ඇති අගයන් දළ වශයෙන් දක්වා ඇති බව කරුණාවෙන් සලකන්න.)



හසිත අබේසිංහ

Popular posts from this blog

පැරණි ලෝකයේ ගංඟා නිම්න ශිෂ්ඨාචාර

මනස නිර්වින්දනය කිරීම

ඡත්ත මානවක ගාථා

කැමති අකමැති කවුරුත් මාමයිට් ගැන නොදත් කතාව

පෙරුම්කායම්