විමර්ශනශීලී බුද්ධිය

අපේ රටේ බහුතරයක් ජනයාගේ විමර්ශනශීලී බුද්ධිය අවම මට්ටමක පවතින බව නම් අමුතුවෙන් කිවයුතු නෑ.මොකද කියනවා නම් කපටි නැකත්කරුවන්ට,පූජකයන්ට සහ කෛරාටික දේශපාළුවන්ට රැවටෙන පිරිස දෙස බලනකොට අමුතුවෙන් තක්සේරුවක් ගැනීමට අවශ්‍යවෙනවා කියලා මං නං හිතන්නෙ නෑ.

යම් කිසි දෙයක් කියූ පමණින් කරුණු සොයා බලා කටයුතු කිරීමට බහුතරයක් පුරුදුව නෑ.මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියලා දැන් අපි බලමු.අපි පොඩි කාලේ ඉදන්ම දෙමාපියන්,වැඩිහිටියන් අපිව නානාප්‍රකාර සංස්කෘතික දම්වැල් වලින් වගේම ආගමේ නාමයෙන් සිරගත කර තැබූ හැටි ඔයාලටත් මතකයට නගාගන්න පුළුවන් වේවි.ආගමේ යම් දෙයක් ගැන තර්ක කල හොත් නරකාදියට යන බව පවසමින් ආගමික කරුණු ගැන තාර්කිකව සිතන එක අපි කුඩා කාලයේදීම ,වැඩිහිටියන් නැවැත්තුවා.සංස්කෘතිය ගැන ප්‍රශ්ණ කරද්දි ඒවා ආදි කාලයේ සිට පවතින සිරිත් විරිත් නිසා ඒවා මෙතෙක් පරම්පරාවෙන් ආරක්ෂා කල ආකාරයටම අපිත් ඒවා රැක ගත යුතුයි කියලා තරවටු කලා.ඒ වගේම අපේ පුංචි හිත් වලට එන විවිධාකාරයේ ගැටළු ගැන දෙමාපියන්ගෙන්,වැඩිහිටියන්ගෙන් අහනකොට පණ්ඩිතයෙක් නොවී ඉන්න කියලා අපි අහන ප්‍රශ්න මගහැරියා.ප්‍රශ්ණ අහන එක අධෛර්යමත් කලා.විමසිලිමත් වෙන එක අඩපණ කලා.මෙතෙක් කල් පැවතගෙන ආපු මේ ක්‍රමය නිසා අපේ පුංචි සිත් සාම්ප්‍රදායික රාමුවකට කොටුවෙලා සිතන්න පතන්න පුරුදු වුණා.පොඩි කාලේ තර්ක කරමින් කරුණු හොයමින් ඉගෙනගැනීමට ගත් උත්සාහය පටන්ගත් තැනම ලොප් වුණා.මේ විදිහට උරුමය කියලා දායාද වුන කරුමය නිසා අපිට නිදහසේ සිතිය හැකි නිවහල් චින්තනයක්නැතිවුණා.අනෙක් ජාතීන් රොකට් හදාගෙන හදට ගියේ නිවහල් චින්තනයට,විමර්ශනශීලී බුද්ධියට පින්සිදුවන්නටයි.නමුත් අවුරුදු 2500 වැඩි ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන ලාංකිකයන් වන අපි අදටත් හද මිදුලට එනකන් බලාගෙන සිටින තත්වයකට පත් වීම ලැජ්ජාවට කාරණයක් නොවන්නේදැයි ඔයාලම හිතල බලන්න.

විමර්ශනශීලී බුද්ධිය ගැන කතා කරද්දි මට පොඩි කතාවක් මතක් වුනා.ඒ තමයි අපි කොයි කවුරුත් කුඩා කාලෙදි අහල තියෙන තල් අත්තක් උඩට බෙලි ගෙඩිය වැටුන කතාව.ඒකත් කෙටියෙන් මෙහෙම මතක් කරන්නම්කෝ.එකමත් එක කාලෙක හාවෙක් බෙලිගහක් යට නිදාගෙන ඉන්නකොට මහ සද්දයක් ඇහිලා හාවා බයවෙලා අහස කඩාගෙන වැටෙනව තමයි කියලා හිතලා බෙරෙන්න කියලා හිතාගෙන දුවන්න ගත්තලු.දුවනකොට තව හාවුන් රංචුවක් හම්බවෙලා ඇහුවලු ඇයි යාලුවෙ දුවන්නෙ කියලා.මේ හාවත් කිව්වලු අහස කඩන්වැටෙනවා,පණ බේරගන්න මම දුවනවයි කියලා.මේ විදිහට කැලේදි හම්බවෙන හැම සතාම මේ ප්‍රශ්ණය ඇහුවම හාවා හැමෝටම මේ උත්තරේ දුන්නාලු.මේ හැම සතාම හාවා කිව්වදේ විශ්වාස කරලා හැල්මෙ දුවන්න ගත්තාලු.මේ කලබැගෑනිය ඇහුන සිංහයා මෙයාලා ළගට ඇවිල්ලා විස්තරේ ඇහුවාලු.අන්තිමේදි දැනගත්තා මුලින්ම මේ කතාව කියලා තියෙන්නේ හාවා කියලා.ඊට පස්සෙ හාවගෙන් විස්තරේ අහගෙන සියලු දෙනත් සමගින් හාවා නිදන් හිටපු තැනට ගියාලු.බලනකොට වෙලා තිබුනෙ හාවා නිදන්හිටපු බෙලි ගහෙන් ගෙඩියක්, බිම වැටිලා තිබ්බ තල් අත්තක් උඩට වැටිලා.ඒ කෙන් තමා මහා ශබ්දයක් ඇහිලා තියෙන්නේ.ඉතින් ඒකටයි හාවා බය වෙලා තියෙන්නේ.ඉතින් බලන්න හරි හැටි කරුණු නොවිමසා එක එක හුදු විශ්වාස මත පමණක් හැල්මෙ දුවන අපි බොහෝ දෙනත් මේ කතාවෙ සත්තු රැල වගේ නෙමෙයිද කියලා?

කාලයාගේ ඇවෑමෙන් අපිත් වැඩිහිටියන් වුණා.අපේ විමර්ෂනශීලි බුද්ධියත් කාලයේ වැලිතලාවෙන් යටපත් වුණා.අප තුළ විමර්ශනශීලී බුද්ධිය නැතිකමින් විවිධ කපටීන් ඒ දුර්වල කම ප්‍රයෝජනයට ගෙන අපිව රැවැට්ටුවා.අපිත් රැවටුණා.මෙහෙම අපිව රවට්ටන පුද්ගලයො එහෙම නැත්නම් අපි විමසිලිමත්ව හිතනවාට අකමැති අය කව්ද කියලා බලමුකො.ඒ අය තමයි විවිධ අද්භූත වැඩ කරන පුද්ගලයො, නක්ෂත්‍ර කරුවො,පූජකයො වගේම දේශපාලඥ්ඥයො.මෙයාලගෙ වැඩ ගැන අපි විමසිලිමත් වුනොත් එහෙමත් නැත්නම් තර්ක කළොත් එයාලා කියන්නේ, ඒ දේවල් ගැන අපිට තේරෙන්නේ නෑ,මේවා කාලයක් තිස්සෙ පැවතගෙන එන්නේ,දෙවියො කෝප වෙයි,ශාස්තෘන්වහන්සේ කිව්දේ දේව වාක්‍ය සේ පිළිපදින්න නැත්නම් නරකාදියටයි යන්න වෙන්නේ වගේ බොළද දේවල් කියලා බය කරන්න හදනවා.ඇයි මෙයාලා අපි විමර්ශනශීලීව හිතනවට අකමැති.මේ සියළු දෙනාගේම ජීවනෝපාය නැතහොත් ජීවන මාර්ගය රැකිලා තියෙන්නේ අපි විමසිලිමත් නොවනතාක් කල්.අද්භූත වැඩ කරන පුද්ගලයින්ගෙ,නැකත්කරුවන් වගේම දේශපාලඥ්ඥයන්ගේ රැකියාව රැදිලා තියෙන්නේ අපි කරුණු කාරණා නොසයා ඒ ආකාරයෙන්ම විශ්වාස කරනවනම් විතරයි.මොකද කියනවනම් මෙයාලගෙ ප්‍රොඩාව දැනගත්ත කිසිකෙනෙක් මෙයාලට රැවටෙන්නෙ නෑ.එතකොට එයාලගෙ රැකියාවත් එතනින්ම ඉවරවෙනවා.පූජකයොත් දානය වශයෙන් වගේම ආධාර ආදියත් අපෙන් ලබාගන්නෙ මේ ආකාරයටමයි.ජීවිතයේ සත්‍ය ස්වභාවය ගැන නොදන්න අයට අනාගත ආත්මය කියන කැරට් අල පෙන්වමින් මුලා කරනවා.මේ පිළිබදව වැඩිදුර විස්තර වෙනත් ලිපියකින් මම කතා කරන්නම්.මේ කියපු කාරණා නිසා මෙයාලා කිසිම කෙනෙක් අපි විමසිලිමත්ව,තාර්කිකව,නිදහස්ව හිතනවට කැමති නෑ.දැන්වත් ඔයාලට තේරෙනවා ඇතිනෙ අපිට යම් තැනකදි වැරදුනා කියලා.හරි කමක් නෑ.අද ඉදන්වත් ඒ වැරදි හදාගනිමු.අපේ පොඩි අයටවත් මේ දේ උරුම නොකරන්න වග බලා ගැනීම අපේ යුතුකමක් නේද? පොඩි අය අහන දේවල් වලට එයාලට තේරෙන ආකාරයෙන් නිවැරදි දේ,සත්‍ය දේ කියාදෙන්න.ප්‍රශ්ණ අහන එක, තාර්කිකව හිතන එක දිරිගන්වන්නන්න.අපේ රටට අවශ්‍ය බුද්ධිමත් ජනතාවක් ඉදිරි අනාගතයේවත් හදාගනිමු.


හසිත අබේසිංහ

Popular posts from this blog

පැරණි ලෝකයේ ගංඟා නිම්න ශිෂ්ඨාචාර

මනස නිර්වින්දනය කිරීම

ඡත්ත මානවක ගාථා

කැමති අකමැති කවුරුත් මාමයිට් ගැන නොදත් කතාව

පෙරුම්කායම්