ඇයි මෙහෙම වෙන්නේ (විද්‍යාත්මක හේතූ) 1

  • අපි නිෂ්චලව සිටිනවා කියලා හිතාගෙන හිටියට අපි සිටින ස්ථානය අනුව පැයට සැතපුම් 1000ක පමණ වේගයකින් චලනය වෙමිනුයි සිටින්නේ.පෘථිවියේ සමකය අවට ජීවත් වන පුද්ගලයින් ඉහළම වේගයකින් ගමන් කරන අතර උත්තර හෝ දක්ෂිණ ඩ්‍රැව වල ජීවත් වන පුද්ගලයින් නිෂ්චලවම සිටියි.
  • අපේ හදවතට අවශ්‍ය ඉඩ සපයා දීම සදහා වම් පෙනහැල්ල දකුණු පෙනහැල්ලට වඩා කුඩාවටයි සකස් වෙලා තියෙන්නේ.
  • අපි පොඩිකාලෙදි ඉගෙනගෙන තියෙන්නෙ මහවැලි,කැළණි,වලවේ,කළු කියන ගංඟා හතර ආරම්භ වෙන්නෙ සමනළ කන්දෙන් කියලයි.නමුත් සමනල කන්දෙන් පටන් ගන්නෙ කළු ගඟ විතරයි.මහවැලි ගඟේ ප්‍රධානම මූලාශ්‍රය වෙන කොත්මලේ ඔය පටන් ගන්නෙ හෝටන් තැන්නෙන්.ඒ වගේම කැළණි,වළවේ කියන ගංඟා පටන්ගන්නෙත් හෝටන් තැන්නෙන්.
  • ගුරුත්වාකර්ෂණ න්‍යාය ඔළුවට වැටුන ඇපල් ගෙඩියක් නිසා අහම්බෙන් නිවුටන් කියන විද්යාඥ්ඥයා හොයාගත්තා කියලනෙ අපි කවුරුත් අහල තියෙන්නේ.නමුත් මෙම න්‍යාය එහෙම අහම්බෙන් බිහිවුන එකක් නෙමෙයි.මේකට නිවුටන්ට අවුරුදු 20 විතර ගිහිලා තියෙනවා.ඒ වගේම මේ න්‍යාය ගොඩනැගීමේදී ක්‍රිස්ටෝපර් ව්‍රීන්,රොබර්ට් හෝක්,එඩ්මන්ට් හැලී වගේ ගොඩ දෙනෙක්ගෙන් උදව් ලැබිලත් තියෙනවා.
  • මඩ සෝදාගත් කළ ගොවියා රජ කමටත් සුදුසුයි කියලා කතාවක් තියෙනවානේ.මේක රොබට් නෝක්ස් කිව්ව කියලයි ප්‍රචාරය වෙලා තියෙන්නේ.නමුත් මේක නෝක්ස්ගේ අදහස අමු අමුවේ විකෘති කිරීමක්.නෝක්ස්ගේ පොතට අනුව මේ කතාව කියවෙන්නේ උඩුනුවර සහ යටිනුවර පළාත්වල හැමෝම තමන් රජ පවුලේ නෑදෑයන් වශයෙන් සැලකූබවත් රජෙක් පත් කරන්න ඕනෙ වුනොත් මේ දෙපළාතෙන් ඕනෙ කෙනෙක්ව අරන් ගිහින් පොඩ්ඩක් හෝදලා කරලා ගන්න එකයි තියෙන්නෙ කියලා ඒ පැත්තෙ මිනිස්සු අතර කතාවක් තිබුණයි කියලයි කියලා තියෙන්නේ.
  • කිරි වල තියෙන කිරි සුදු පාටට හේතු වෙලා තියෙන්නෙ "කේසීන්" කියන ප්‍රෝටීන් වර්ගය.ඒ වගේම කිරිවල පවතින රසයට හේතු වෙන්නෙ "ලැක්ටෝස්" කියන සීනී වර්ගය.
  • ගස් වල කොළ පැහැයට හේතු වෙන්නෙ හරිතප්‍රද.හරිතප්‍රද වලින් තමයි කොළ වල කෑම හදන්නේ.නමුත් කොළ පැහිලා ඉදෙන කොට ඒවායේ තියෙන හරිතප්‍රද ප්‍රමාණය අඩුවෙලා තැඹිලි,කහ වගේ පාට වලට හැරෙනවා.මේකට හේතු වෙන්නෙ කොළ වල තියෙන "සැන්තොෆිල්" කියන වර්ණකය.හරිතප්‍රද හදන එක අඩු වෙනකොට ඒ කොළයෙන් ගහට වැඩක් නෑ.එතකොට ගහ ඒ කොළය ගහෙන් වෙන් කරන්නට නටු වල සියුම් සිවියක් හදනවා.ඊට පස්සේ කොළය ගහෙන් වෙන් වෙනවා.
  • මිරිස් වල සැර ගතියට හේතුවෙන්නේ "කැප්සසින්" capsaicin කියන රසායනිකය.මේ රසායනිකයෙන් වේදනා නාශක බෙහෙත් ආදියත් හදනවා.ඒ වගේම පිළිකා සෛල විනාශ කරන්නත්,රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්නත්,ලේ කැටි ගැසීම වැලැක් වීමටත් මේ රසායනිකයට හැකියාව තියෙනවා.මෙහිදී දැවිල්ල ඇතිවෙන්නේ දිවේ සහ සමෙහි තියෙන උෂ්ණත්ව සහ වේදනා ප්‍රතිග්‍රාහක උත්තේජනය කරමින් අපේ මොළයට ඒවා දැවෙන බවක් හගවන නිසයි.දැන් ඔයාලට මතක් වෙනවා ඇති ගිරව් වගේම සමහර කුරුල්ලන් කිසිම අපහසුවකින් තොරව මිරිස් කරල් හපා කන හැටි.මේකට හේතුව තමයි සමහර කුරුල්ලන්ගේ දිවේ කැප්සසින් කියන රසායනිකයට සංවේදී ප්‍රතිග්‍රාහක නොමැති නිසා දැවිල්ලක් ඇතිවෙන්නේ නැති වීම.
  • අපි පොඩි කාලේ ඉදලා අහලා තියෙන දෙයක් තමයි දත් පණුවො කනවා කියන එක.ඇත්තටම පණුවන්ට දත් සිදුරු කරන්නවත් කන්නවත් හැකියාවක් නෑ.ඇත්තටම මේ තත්වයට හේතුව තමයි අපි කන කෑම කොටස් දත් වල ඉතුරු වුනොත් ඒවා කටේම නරක් වෙනවා.පස්සෙ ඒවායේ බැක්ටීරියා හැදිලා සැරදියර පිට වෙනවා.ඒ විෂබීජ වලින් එනැමලය සිදුරු වෙනවා.සරලව කියනවා නම් දත්වල පිටපොත්ත සිදුරු වෙනවා..දිරනවා,දත්වල කුහර හැදෙනවා.දිගටම මේ වගේ කෑම කොටස් ඉතුරු වුණොත් දත් වල හැදුනු කුහර තව තවත් ලොකු වෙලා දත් ඇතුළටම හෑරෙනවා.මෙහෙම කුහර හැදුනහම පැණිරස ජාති,ඇඹුල් ජාති කෑවහම දත් හිරිවැටෙනවා,ඉන්න බැරි වේද්නාවක් ඇති වෙනවා.එහෙම වෙන්නෙ දතේ ඇතුලෙ තියෙන ස්නායු වලට ඒ බව දැනෙනකොටයි.මේ නිසා කෑමෙන් පස්සේ දත් මදින්න ඕනෙ වගේම කැල්සියම් සහ පොස්පරස් අඩංගු ආහාර ගන්නත් ඕනේ.
  • ඇහැට එන දූවිලි,කුණු,විෂබීජ විනාශකරන ආරක්ෂකයා වෙන්නෙ කදුළුයි.ඇහැ පියට යටින් අශ්‍රැ ග්‍රන්ථි එහෙමත් නැත්නම් කදුළු උල්පත් පිහිටලා තියෙනවා.මේ කදුළු උල්පත් වල ඉදලා චූටි බට දෙකක් ඇස් දෙකට තියෙනවා.ඇහැට රොඩු කෑල්ලක් වැටුනොත් අර නාල දෙක දීගේ කදුළු ඇවිත් පිරෙනවා.කදුළු වල තියෙන "ලයිසොසයිට්" කියන විෂ බීජ නාශකයෙන් ඇහැ පිරිසිදු කරනවා.වැඩිපුර එන කදුළු පිටාර නාලයක් දීගේ නාස් කුහරයට යනවා.ඒ නිසා තමයි සමහරු අඩනකොට නාසයෙනුත් දියර ගලන්නේ.("ලයිසොසයිට්" කියන එන්සයිමය අපගේ කෙළවලත් තියෙන අතරම මෙයට බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාවක් පවතී.)
  • අපේ උගුරට කිට්ටුව තවත් චූටි දිවක් තියෙනවා.අපි මේකට රස දිව (Uvula) කියලයි කියන්නේ.මේකට පුංචි දිව කියලත් කියනවා.අපේ උගුරෙන් පහළට බට දෙකක් තියෙනවා.එකක් කෑම ගෙන යන ගලනාලය.අනෙක හුස්ම ටික පෙනහළු වලට ගෙන යන ශ්වාසනාලය.මේ දෙකෙන් එකක් පාවිච්චි කරන කොට අනෙක වහන්න ඕනෙ.කතා කර කර කෑම ටිකක් කනකොට හරි වතුර ටිකක් බොනකොට හරි හිර වෙන්නෙ අර බට දෙකම මරුවෙන් මාරුවට අරින අතරෙ කෑම ටිකක් හරි වතුර ටිකක් හරි ශ්වාසනාලයට ගිහාමයි.ඒ නිස එක බටයක් වහලා තියන්න තමයි රස දිව තියෙන්නේ.කෑම කන කොට හුස්ම ගන්න බටයට ගිහාම හරිම අමාරුයි.මේ නිසා රස දිව එක බටයක් වහලා තියන්න උදව් වෙනවා.ගලනාලයටත් ශ්වාසනාලයටත් කියන දෙකටම තියෙන එකම පියන මේ රස දිවයි.
  • කණාමැදිරියාගෙ බඩ කොටසේ කොටස් කිහිපයකම ලුසිෆේරින් luciferin කියන ප්‍රෝටීන වර්ගයක් තියෙනවා.මේකට වාතයේ තියෙන ඔක්සිජන් එකතු වුනාම තමයි ආලෝකය පිට වෙන්නේ.මේ ප්‍රෝටීනය තියෙන තරමට තමයි කණාමැදිරියගේ ආලෝකය අඩු වැඩි වෙන්නේ.
  • අපගේ ආමාශයේ තිබෙන ආමාශයික යුෂ සින්ක් ලෝහය දිය කිරීමට තරම් ප්‍රබලයි.නමුත් අපේ ආමාශයේ පවතින නැවත නැවත නවීකරණය වන ශ්ලේෂ්මල ස්ථරය නිසා ආමාශය ජීරණය නොවී පවතිනවා.
  • අපි යමක් තදින් අලවන්න ඕනෙ උනාම බොහෝ වේලාවට යොදාගන්නේ සුපර් ග්ලූ”Super Glue”.අනෙකුත් බොහෝමයක් විද්‍යාත්මක සොයාගැනීම් වගේම මෙයත් අහම්බයෙන් සොයාගන්නා ලද්දක්.එහි නිර්මාතෘ ප්‍රකාශ ආවරණ ද්‍රව්‍ය පිළිබඳ පරීක්ෂණ කරමින් අතර තුරදී වැරදීමකින් තමා මෙය හොයාගෙන තියෙන්නේ.සුපර් ග්ලූ මේ තරම් ශවිමත්ව ඇලවිය හැක්කේ ජලයේ අඩංගු හයිඩ්රොක්සිල් අයන වල ආධාරයෙන්.සෑම පෘෂ්ටයකම ඉතා කුඩා ජල ප්‍රමාණයක් හෝ පවතින බැවින් සුපර් ග්ලූ ස්වල්පයක් හෝ යමක ගැටුනහොත් එහි පවතින ජලය සමග දිගු සවිමත් දාම සාදමින් ඉතා කුඩා වේලාවක් ඇතුළත පෘෂ්ට දෙක අතර සවිමත් ජල වාහක බන්ධනයක් සාදනවා.
  • දොඩම් යුෂ වීදුරුවක් හදනකොට එයට දොඩම් ඇට වැටුනොත් ඒවා වතුර තුළ ගිලී පවතිනවා.මීට හේතුව වෙන්නේ වතුරේ ඝනත්වයට වඩා දොඩම් ඇට වල ඝනත්වය වැඩිවීමයි.නමුත් එයට සීනි එකතු කළ විට දොඩම් ඇට ජලය තුළ පාවීමට පටන් ගන්නවා.මෙයට හේතු වෙන්නේ ජලයට සීනි එකතු කිරීමේදී ජලයේ ඝනත්වය වැඩි වීමයි.
  • ලිතියම් කියන මූලද්‍රව්‍යයට පුළුවන් අපි හිතන ආකාරය පවා වෙනස් කරන්න.මෙයට මානසික රෝග වලට එරෙහිව ක්‍රියාකිරීමේ හැකියාවත් පවතිනවා.
  • මදුරුවෝ අපිව කන්න හේතුවත් ඒ කෑවාම එතැන ඉදිමීමට සහ රිදුම්දීමට හේතුව සොයා බලමු.මදුරුවන්ගේ ලේ උරාබීම සිදු කරන්නෙ ගැහැණු මදුරුවා විසින්.ඒකට හේතුව තමයි ගැහැණු මදුරුවන් විසින් ඔවුන්ගේ ජීවයේ මූලික කොටසක් වන අයිසොලෙව්සීන් (Isoleucine) නැමැති ඇමයිනෝ අම්ලය (Amino acid) සෙවීම.ප්‍රෝටීන නිපදවීමට උපකාරී වනුයේ මෙම ඇමයිනෝ අම්ලයයි.ගැහැණු මදුරුවන්ට බිත්තර දැමීමට මෙම ප්‍රෝටීනය අවශ්‍ය වෙනවා.ගැහැණු මදුරුවන්ට අයිසොලෙව්සීන් නිසි පරිදි ලැබුණහොත් බිත්තර 100 පමණ දැමීමේ හැකියාවක් පවතින අතර එය නොලැබුනහොත් දැමිය හැක්කේ බිත්තර 10 වගේ සුළු ප්‍රමාණයකුයි.ගැහැණු මදුරුවාගේ මෙම පෝෂණ අවශ්‍යතාවය පහසුවෙන් සපුරාගත හැකි වෙන්නේ අපේ වගේම සමහරක් සතුන්ගේ රුධිරය මගිනුයි.මොකද කියනවා නම් මිනිස් රුධිරය තුළත් මේ අයිසොලෙව්සීන් තියෙනවා.නමුත් මී හරකුන්ගේ වගේම මීයන්ගේත් මේ කියන අයිසොලෙව්සීන් ප්‍රමාණය මිනිසාට වඩා වැඩියි.හැබැයි මිනිස් ගහණය වැඩි බැවින් මදුරුවන් මිනිසුන්ගෙන් යහමින් ලේ උරාබීමක් සිදු කරනු ලබනවා.සාමාන්‍යයෙන් මදුරුවන්ට උන්ගේ දේහයේ බර වගේ හතර ගුණයක් ලේ උරාබීමේ හැකියාව පවතිනවා.මදුරුවෙක් දෂ්ට කළ විට රිදුම් දීමට හා ඉදිමීමට හේතු වෙන්නේ,මදුරුවෙක් සම සිදුරු කරන විට පළමු වතාවෙන්ම නිසි ලෙස රුධිර නාලයකට තම ශුණ්ඩාව ඇතුළු කිරීමට හැකිවෙන්නේ නෑ.ඒ නිසා බොහෝ වෙලාවට ඌ කිහිප වතාවක් සම සිදුරු කිරීම කරනු ලබනවා.මේ විදිහට සම කිහිප වතාවක් සිදුරු කිරීම හේතුවෙන් සමට අමතර හානියක් සිදුවෙනවා.ඒ වගේම මදුරුවා දෂ්ට කරන විට අපේ ශරීරයේ ලේ කැටිගැසීම වැලැක්වීමට ඌගේ ඛේටය සමඟ ප්‍රෝටීනයක් අපේ ශරීරයට ඇතුළු කරනවා.අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් මේ විදිහට ශරීරයට ඇතුළු කරන ලද ඛෙටයට එරෙහිව සටන් කරන්නට හිස්ටමින් කියන ද්‍රව්‍යයක් නිපදවනවා.හිස්ටමින් මගින් මදුරුවා සිදුරු කළ තැන් වල රුධිර වාහිනී ඉදිමීමට සලස් වන අතර එම නිසා එහි පවතින ස්නායු උද්දීපනය වීමක් සිදු වෙනවා.මේ නිසා කසන ගතියක් දැනෙනවා.
  • වර්ෂාවකට පස්සෙ අපිට අත්විදින්න ලැබෙන නැවුම් සුවදට හේතු වෙන්නේ ඇක්ටිනොමයිසිට්ස් කියන බැක්ටීරියාව නිසයි.
  • සුදුළුෑණු වල ගන්ධයට හේතු වෙන්නේ එහි ඇති සල්ෆර් අඩංගු සංයෝගයි.
  • අපේ ශරීරය තුළ භාවිතා කරන ඔක්ෂිජන් ප්‍රමාණයට වඩා 25% වැඩියෙන් එම කාළය තුළ මොළය විසින් භාවිතයට ගනු ලබනවා.
  • ආලෝකය හොඳින් ඇති වෙලාවක සුදු තිරයක් දෙස බලන කොට ඇස් හරහා එහා මෙහා යන පණුවන් වගේ කෙඳි සමහරුන්ට දැක ගැනීමේ හැකියාවක් තියෙනවා.මේකට හේතුව වෙන්නේ ඇස ඇතුළෙ තියෙන පාරාන්ධ ද්‍රව්‍ය වල සෙවණැලියි.මේවා තියෙන්නේ සමහර අයට පමණයි.නමුත් එහෙම තියෙන අයගෙනුත් දෘෂ්ටියට බාධා ඇතිවන්නේ කලාතුරකින්.මෙවැනි තත්වයක් බොහෝ වෙලාවට සාමාන්‍ය දෙයක් වුනත් මහළු වන විට මේ තත්වය වර්ධනය වීමේ හැකියාවක් පවතිනවා.දෘෂ්ටි පථයේ විශාල ප්‍රමාණයක ඇති අවස්ථා වලදී නිසි ප්‍රතිකාර නොලැබුනහොත් පූර්ණ අන්ධභාවයට පවා පත් විය හැකියි.
  • හාල්මැස්සන් සහ තක්කාලි එකම කෑම වේලක ඇතුළත් කරන්න හොද නැහැ කියන කතාව ඔයාලත් අහල තියෙනවද? ජීරණ ක්‍රියාවලියෙන් පස්සේ හාල්මැස්සන්ගෙන් ලැබෙන කැල්සියම් සහ තක්කාලි වලින් ලැබෙන ඔක්සැලික් අම්ලය එකතු වී කැල්සියම් ඔක්සලේට් ස්ඵටික සෑදෙනවා.මේ කැල්සියම් ඔක්සලේට් වකුගඩු තුළ ගල් ඇති වීමට ප්‍රධාන හේතුවක් වෙනවා.
  • සෙල්සියස් අංශක 3000ක අධික උෂ්ණත්වයක් වගේම ඉහළ වායුගෝලීය පීඩනයක් යටතේ මිනිරන් ,දියමන්ති බවට පත් කිරීමේ හැකියාව පවතිනවා.
  • පොකිරිස්සන්ගේ රුධිරය වාතයට නිරාවරණය වන තෙක් අවර්ණ වෙන අතරම වාතයට නිරාවරණය වූ විගස නිල් පැහැයට හැරේ.
  • ෆ්ලෑෂ් කැමරා වලින් ගත්ත ඡායාරූපවල මිනිස්සුන්ගේ ඇස් රතු පාටින් පේනවා.ඒකට හේතුව වෙන්නේ අදුරු අවස්ථාවලදී ඇසට ඇතුළු වන ආලෝකය වැඩි කරගැනීමට කනීනිකා සිදුරේ ප්‍රමාණය වැඩි වෙනවා.මේ නිසා අදුරේදී ඡායාරූප ගන්නකොට ඇසේ කනීනිකාව විශාල වෙලයි පවතින්නේ.කැමරාවේ ෆ්ලෑෂ් ආලෝකය එකවරම ඇසට ඇතුළු වුනාම රුධිරයේ තියෙන රුධිර කේෂනාලිකා ආවරණය වන පරිදි කනිනිකාව සංකෝචනය කර ගැනීමේ අවස්ථාවක් ඇසට ලැබෙන්නේ නැහැ.මේ නිසා ඒ රුධිර කේෂනාලිකා වල වැදිලා පරාවර්තනය වෙන ආලෝකය නිසා ඡායරූප වලදි ඇස් රතු පාටින් පේන්න ගන්නවා.



හසිත අබේසිංහ

Popular posts from this blog

පැරණි ලෝකයේ ගංඟා නිම්න ශිෂ්ඨාචාර

මනස නිර්වින්දනය කිරීම

ඡත්ත මානවක ගාථා

කැමති අකමැති කවුරුත් මාමයිට් ගැන නොදත් කතාව

පෙරුම්කායම්